Monday, May 04, 2026
Follow Us
දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආසන වෙන් කර ගත හැකි වෙබ් අඩවියක්

දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ආසන වෙන් කිරීමේ නව සේවාවක් නියමු වැඩසටහනක් ලෙස ආරම්භ කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(04) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් දෛනික ගමන් බිමන් සඳහා බස් රථ භාවිතා කරන අතර, දුම්රියටත් වඩා බස් ප්‍රවාහනයට වැඩි ප්‍රචලිතතාවයක් ඇති බවයි.

එහෙත් වර්තමානයේ බස් ආසන වෙන් කර ගැනීම සඳහා බස් නැවතුම්පොළ වෙත යාමට සිදුවීම හේතුවෙන්, දිගු ගමන් සැලසුම් කිරීමේ අපහසුතා පවතින බවද ඔහු අවධාරණය කළා.
“මෙම නව ක්‍රමය මඟින් ජනතාවට පෙර ආසන වෙන් කරගෙන ගමන් සැලසුම් කළ හැකිවනු ඇත. දෛනික ජීවිතයට පහසුකම් සැලසීම අපගේ අරමුණයි,” යනුවෙන් රත්නායක මහතා පැවසීය.

එමෙන්ම, බස් රථ තුළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද සාධාරණ මිල ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය බවද මෙහිදී සඳහන් කෙරුණා.මෙම වැඩසටහන මුලින් පෞද්ගලික බස් සේවා හරහා ක්‍රියාත්මක වන අතර, පසුව එය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති මොතිලාල් ඩී සිල්වා මහතා පැවසුවේ, මෙම වැඩසටහන අවුරුදු නිවාඩුවට පෙර හඳුන්වා දුන් බවත්, විවිධ පෞද්ගලික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක කරන එකමුතුවක් බවත්ය. “අපි සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙසින් පමණක් නොව, ජනතා ගැටළු සඳහා විසඳුම් සපයන ආයතනයක් ලෙස කටයුතු කිරීමට කැපවී සිටිනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම සේවාව යටතේ මාකුඹුර, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන තෝරාගෙන ඇති අතර, එය සාර්ථක වූ පසු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.

ජනතාවට www.busticket.gov.lk වෙබ් අඩවිය හරහා හෝ 0112001266 දුරකථන අංකය මගින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතී.

එසේම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සෘජුවම උපදෙස් ලබාගෙන ආසන වෙන් කර ගැනීමේ පහසුකම්ද ලබා දී ඇත.

මෙම සේවාව භාවිතා කිරීමේදී රුපියල් 30ක පමණ අමතර ගාස්තුවක් අයකරන අතර, කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම්ද සපයා තිබේ.

අදාළ ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මාධ්‍ය හරහා දැනුවත් කිරීම සිදු කරන අතර, ජනතාවගෙන් මෙම සේවාව භාවිතා කර ප්‍රතිචාර ලබාදෙන ලෙසද ඉල්ලා සිටි.