මෝරුන් සහ මඩු මසුන් පිළිබඳ ලොව කීර්තිමත් විද්යාත්මක හමුවක් වන 'Sharks International 2026' සමුළුව අද (04) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) නිල වශයෙන් ආරම්භ විය.
මෙවැනි සුවිශේෂී ගෝලීය සමුළුවක් ශ්රී ලංකාවේදී පවත්වනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර, මේ සඳහා රටවල් 80කට අධික සංඛ්යාවක පර්යේෂකයන්, පරිසර සංරක්ෂකයන් සහ රාජ්ය නිලධාරීන් සහභාගී වේ. මෙම සමුළුවේ ප්රධාන ආරාධිතයෙකු ලෙස පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා සහභාගී වූ අතර, සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ සක්රීය භූමිකාව සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය සහයෝගීතාවයේ හදිසි අවශ්යතාවය අවධාරණය කළේය.
ලෝක සාගර පද්ධතිය මුහුණ දී ඇති බරපතළ තත්ත්වය තුළ වාර්ෂිකව මෝරුන් සහ මඩු මසුන් මිලියන 100කට අධික ප්රමාණයක් විනාශ වන අතර ශ්රී ලංකාවට ආවේණික මෝරුන් සහ මඩු මසුන් විශේෂ 105ක් අතුරින් විශේෂ 70ක් පමණ අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. මෙම ජීවීන් කොරල්පරවල සෞඛ්ය සම්පන්න බව රැක ගැනීමට පමණක් නොව, දේශීය ධීවර ජනතාවගේ ජීවනෝපායට අත්යවශ්ය වන වාණිජ මත්ස්ය සම්පත පවත්වා ගැනීමට ද අතිශය වැදගත් වන අතර, CITES සහ CMS වැනි ජාත්යන්තර සම්මුතීන් යටතේ මෙම ජීවීන්ට ලබා දෙන ආරක්ෂාව තවදුරටත් පුළුල් කිරීමටත්, හුදු දත්ත රැස්කිරීමෙන් ඔබ්බට ගොස් ප්රායෝගික සංරක්ෂණ ප්රතිඵල අත්කර දෙන පර්යේෂණ දිරිමත් කිරීමටත් නව රජය කැපවීමෙන් වැඩ කටයුතු සිදු කරනු ඇත.
සාගර පරිසර පද්ධතියේ ස්වභාවික අගය රැක ගැනීම සඳහා සෘජු ක්රියාමාර්ග කෙරෙහි අවධානය යොමු වීම වැදගත් වන අතර ගෝලීය විද්යා ප්රජාවගේ මැදිහත්වීම මෙන් ම මෙම සමුළුව සත්කාරකත්වය දැරීම හරහා, මෝරුන් සහ මඩු මසුන් හඳුනාගැනීම සහ නීතිවිරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා ජාන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සම්බන්ධයෙන් කලාපීය නායකත්වයක් ගැනීමට ද ශ්රී ලංකාව අපේක්ෂා කරනු ඇත.
මෙම සමුළුව සතියක් පුරා පැවැත්වීමට නියමිත අතර, සාගරයේ ඉහළම විලෝපිකයන්ගේ ආරක්ෂාව උදෙසා සාධනීය වෙනසක් ඇති කිරීම සඳහා වන තාක්ෂණික සැසි සහ ප්රතිපත්තිමය සාකච්ඡා රැසක් මෙහිදී පැවැත්වේ. මෙම සමුළුවේදී ගනු ලබන සංරක්ෂණ තීරණ, මතු පරපුර උදෙසා සාගර ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමටත් ලොව පුරා සාගර පද්ධතීන්ගේ තිරසාර පැවැත්ම සඳහාත් සාධනීය බලපෑමක් ඇති කරනු ඇති.