ශ්රී ලංකාවේ ජාතික ස්වෛරී කෘත්රිම බුද්ධි (AI) පරිගණක මධ්යස්ථානයක් පිහිටුවීම සඳහා චීන රජයේ සහාය ලබා ගැනීම ඇතුළු ඩිජිටල් ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සඳහන් කරයි.
ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා සහ ශ්රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං මහතා අතර මෙම හමුව පසුගියදා (14) වැනිදා කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, කෘත්රිම බුද්ධි ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දෙරට අතර AI පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා AI දත්ත විශිෂ්ටතා මධ්යස්ථානයක් පිහිටුවීම, මානව සම්පත් ධාරිතාව වර්ධනය කිරීම, AI පාලනය සහ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
චීනයේ AI තාක්ෂණික අත්දැකීම් ශ්රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමටත්, යෝජිත AI පරිගණක මධ්යස්ථානයට අදාළ තාක්ෂණික දැනුම බෙදා ගැනීමටත් චීන තානාපතිවරයා කැමැත්ත පළ කළේය. ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ දිගුකාලීන වර්ධනයට දායක වන නව සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවට ස්වෛරී AI තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම සඳහා අවශ්ය භෞතික යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, පුරවැසියන්ගේ දත්ත ආරක්ෂාව තහවුරු කරමින් ජාතික මට්ටමේ AI දත්ත මධ්යස්ථානයක් පිහිටුවීමට චීනයේ සහාය ඉල්ලා සිටියේය. විවෘත මූලාශ්ර AI වේදිකා භාවිතය සහ රාජ්ය ආයතන තුළ AI තාක්ෂණය යොදා ගැනීමේ ප්රගතිය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.
ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා සඳහන් කළේ, දෙරට අතර ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම අදාළ රාජ්ය ආයතනවල උපදෙස් අනුව සකස් කරමින් පවතින බවයි.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඇතුළු ශ්රී ලංකා සහ චීන නියෝජිතයෝ පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.