Thursday, October 15, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී. එම්. සලාහුදීන් මහමුද් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පිළිගනිමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන සබඳතා අගය කළාය. මෙහිදී, ශ්‍රී ලංකා රජය විසින් බංග්ලාදේශය වෙත ලබා දෙන ලද සහයෝගය පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සිය කෘතඥතාව පළ කළේය.

ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දෙරටේ සංවර්ධන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමේදී පුනර්ජනනීය බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත්, දෙරටටම වැදගත් වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමත් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක Samapan Barua මහතා, එම මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක එම්.ඩී. Jannatul Habib මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.