සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී ඖෂධ බෙදා හැරීමේදී ඇතිවන අභියෝග, විදේශ ආධාර මගින් ඖෂධ ලබා ගැනීමේ දී ඇතිවන ගැටළු, ඖෂධවල තත්ත්ව සහතිකය, ඖෂධ මිල නියාමනය කිරීමේ අවශ්‍යතාවය, ඖෂධ හිඟය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය ඇතුලු කරුණු පිලිබඳව නිලධාරීන් ඉදිරිපත්කිරීම් (Presentation) සහිත පැහැදිලි කිරීම් කළහ. එසේම පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
එසේම අත්‍යාවශ්‍ය ඖෂධ 96ක් නිෂ්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින් බවත්, 2022 වසරේ නව ඖෂධ වර්ග 9ක් ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් නව ඖෂධ වර්ග 20ක් හඳුන්වා දීමට නියමිත බවත් මෙහිදී නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී. තවද, මෙලෙස නිෂ්පාදනය කරන අතිරේක ඖෂධ අපනයනය කිරීමේ හැකියාවන් පිළිබඳව සොයා බලන බවද නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රාජිත සේනාරත්න, සෙල්වම් අඩෛක්කලනාදන්, ලලිත් වර්ණකුමාර, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, සමන්ප්රිය හේරත්, ඉම්රාන් මහරූෆ්, මුදිතා ප්‍රිශාන්ති සහ රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.