Saturday, April 20, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips නිෂ්පාදනය සාර්ථක වෙයි

රාජ්‍ය අංශය අනුග්‍රහයෙන් ආරම්භ කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය හා බණ්ඩාරවෙල කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

කහත්තේවෙල ඉදි කර තිබෙන මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අත්හදා බැලීම මේ වනවිට සාර්ථකව ඇතැයි ජනතා ගොවි සමාගම විසින් ඊයේ (31) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

රුපියල් මිලියන 100ක වියදමින් ඉදි කර තිබෙන මෙම Potato Chips අපනයනය ඉලලක්ක කරමින් මෙරට අර්තාපල් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙදපොලට යොමු කිරීම අරමුණු කර ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට ඇතැම් ආහාර සැකසුම් ආයතන විසින් Potato Chips ආනයනය කරන අතර 2021 වර්ෂයේ දී ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21කි. එමෙන්ම දැනට අප රටේ පුද්ගලික අංශයෙන් Potato Chips රටවල් කිහිපයකට අපනයනය කරනු ලබයි. 2021 දත්ත අනුව මෙරට නිෂ්පාදනය කෙරෙන Potato Chip ටොන් එකක් ඩොලර් 6321 බැගින් අලෙවි කර තිබේ.
කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන විදේශ වෙළෙදපොලට අපනයනය කිරීම මෙන්ම මෙරට අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ද යෙදවීමට නියමිතය.
මෙම කර්මාන්ත ශාලාව තුළ දිනකට Potato Chips කිලෝග්‍රෑම් 1000ක් සැකසීමේ හැකියාව තිබේ. එමෙන්ම අර්තාපල් ගොවීන් 200ක ගේ නිෂ්පාදන මෙම මෙම කර්මාන්තශාලාවට මිල දී ගැනීමට කටයුතු කර ඇත.
දැනට අර්තාපල් බහුලව වගා කරන වැලිමඩ බොරලන්ද හෙක්ටෙයාර් 3000කින් පමණ සමන්විත අර්තාපල් වගා කලාලාපයේ ප්‍රමාණවත් තරම් මාර්ග පහසුකම් නොමැති නිසා මෙම වසරේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂි මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල් වැය කර එම පිවිසුම් මාර්ග ප්‍රතිසංස්කරණයට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ආරම්භ වූ පසු ඒ ආශ්‍රිතව ඝෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි ද ජනතා ගොවි සමාගම පවසයි. මෙම කර්මාන්ත ශාලාව හැකි ඉක්මනින් විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඊයේ (31) කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනට උපදෙස් දුන්නේය.