ජනාධිපතිවරණයට පසු දිනයේ තමන්ද ඇමතිවරයෙකු බවට පත්වන බව එස්.බී. දිසානායක මහතා පවසා තිබේ. එමෙන්ම ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළද පවත්නා ආණ්ඩුව සමග කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා තිබේ.
මෙම ප්‍රකාශ දෙක මහජනතාව අතර විවිද කසුකුසු ඇතිකර තිබෙන අතර ඇතැම් ප්‍රකාශයකි සම්පූර්ණයෙන්ම වැරදි ලෙස අර්ථ නිරූපණය කරන අයුරුද දක්නට ලැබේ. ඒ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නෛතික තත්වය පැහැදිලි කරගත යුතුවේ.
ජනාධිපතිවරණයට පසු දිනයේම කැබිනට් මණ්ඩලය හා අගමැති වෙනස් කළ හැකියැයි සිතන අය එසේ සිතන්නේ 2015 ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග එතෙක් අගමැති ධුරය දැරූ දි.මු. ජයරත්න මහතා එම ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීම උදාහරණයක් ලෙස ගනිමින් බව පෙනේ.
2015 ජනවාරි 09 වැනිදා වනවිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව තිබුණේ නැත. එබැවින් තමන් කැමති ඕනෑම වේලාවක අගමැතිවරයා ධුරයෙන් පහකිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබුණි.
නමුත් 19වැනි සංශෝධනය හරහා මෙම බලය ඉවත් කොට ඇති බැවින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන පමාවෙන් අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත්කිරීමට හෝ නව ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැත.
එම තත්වය යටතේ මහේෂ් සේනානායක නොව ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළද ඔහුට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමග කෙටි කලක් වුවද කටයුතු කිරීමට සිදුවීම අනිවාර්ය වේ. ඒ අනුව එස්.බී. දිසානායකගේ 18දා ඇමති වීමේ සිහිනය බොඳවී යන අතර, මහේෂ් සේනානායක ජනාධිපති වුවහොත් පමණක් දිගටම අගමැති රනිල් බව කීම දෝෂ සහගත වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට නම් එක්කෝ ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සිදුවන අතර, නැත්නම් පාර්ලිමේන්තුව පත්වූ දාන සිට වසර හතර හමාරක් ඉකුත් වන දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කරගත යුතු වේ. ඒ දෙකම සිදු නොවුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස් නොවන්නේ නම් පත්වන කුමන ජනාධිපති වරයෙකුට වුවද ඔහු සමග කටයුතු කිරීමට සිදුවනු ඇත.
(LNW)