Friday, November 08, 2024
Follow Us
ආර්ථිකය ගොඩනැගීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් 
  • 2019 වසරේදී ආදයම් බදු, වැට් සහ ජාතික සංවර්ධන බදු ලිපිගොණු ලක්ෂ 16 2020 දී ලබාදුන් බදු සහන සමඟ ලක්ෂ හතරකට අඩු වීම නිසා සිදුවූ රාජ්‍ය ආදායමේ පහත යාම ආර්ථික අර්බුදයට මූලික හේතුවක්.
  • 2022 වර්ෂයේ සෘණ11% ක්ව පැවති ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සෘණ 3.5 හෝ සෘණ 4.0% විය හැකියි.
  • 2024 වර්ෂයේ සිට රටේ ආර්ථිකය ධනාත්මක වර්ධනයකට ගෙන යනවා.
  • මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරනවා– ජනපති අනුරාධපුරයේ දී කියයි.

අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමිනි.

අද සියලුදෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බව පැවසූ ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්‍රගතියත් සමග වැටුප් වැඩි කිරීම ඇතුළුව සියලු ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර විජිණිපත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වනු ලැබීය.

මෙම පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අනුරාධපුර මහා විහාරයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණය පිළිබඳ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අපට ණය ගෙවිය නොහැකි බව අපි ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. අපි ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළා.

අප ලබාගත් ණය ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අපට එම ණය ආපසු ගෙවීමට හැකියාවක් නැති බව ඔවුන් දැනුම් දුන්නා. එම ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා ගැනිමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කරන ලෙස යෝජනා කළා.

අපට ණය ලබා දුන් චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් දන්වා සිටියේ පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අනතුරුව එම රටවලිනුත් ලබාදිය හැකි ආධාර පිළිබඳ සාකච්ඡා කරන බව දැනුම් දුන්නා.

ඒ නිසා අපි මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදු වුණා. අපට මෙම අධාර නැතිව ඉදිරියට යන්න බැහැ. මේ අධාර නොලැබුණොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රටේ තිබෙන අරමුදල් සහ විදේශ විනිමය ප්‍රමාණවත් වන්නේ නැහැ. පසුගිය වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 11යි. මේ වසරේ අපි සැලසුම්සහගත ලෙස කටයුතු කළහොත් එය සෘණ 3.5ක් බවට පත්කරගත හැකියි. ගෝලීය ගැටලු ඇතිවුවහොත් සෘණ 4ක් විය හැකියි. නමුත් අපි අපේක්ෂාකරන ප්‍රමාණය සෘණ 3.5යි. මේ ආකාරයට බලන විට 2024 වර්ෂයේ සිට අපට ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකියි. අපට ඩොලර් නැති වු අවස්ථාවක අප ගත් පියවර නිසා අපට යම් ආධාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉදිරියේ දී මීට වඩා ආධාර අපට ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ වගේම පොහොර ලබාදීම සමග මෙවර මහ කන්නය සාර්ථකවීම නිසා අපට වී අතිරික්තයක් ලැබෙනවා. අපි මේ වැඩපිළිවෙළින් ඈත් වුවහොත් පසුගිය වසරේ මැයි, ජුනි, ජූලිවල තිබුණු තත්ත්වට නැවත රට පත්වෙනවා. එසේ සිදුවුවහොත් තවත් අසීරුතාවකට මුහුණ දීමට සිදු වෙනවා.

එමෙ වුවහොත් අපට සති තුනකටවත් ඖෂධ ලබා ගැනීමට මුදල් ඉතුරු වන්නේ නැහැ.

අපට ණය ලබාදුන් රටවල් දන්වා සිටියේ ඔවුන්ගේ ආදයමත් අඩුවී තිබෙන බවත් තමන්ගේ ජනතාවට මේ ප්‍රශ්නය විසඳාගැනීමට උපරිම බර දැරීමට නොහැකි නම් ඔවුන්ගේ සහාය ලබාදීම දුෂ්කර බවයි. මොකද ඔවුන් ලබාදෙන මුදල් ඔවුන්ගේ ජනතාවගෙන් බදු අය කරගෙන ලබාගත් මුදල් බව ඔවුන් දන්වා සිටියා.

2019 දී අපේ සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%යි. ඒත් බදු අඩු කිරීමත් සමග 2022 වන විට සම්පූර්ණ අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.4%කට අඩු වෙලා තිබෙනවා. ආධාර ලබා දෙනව නම් 2019 තිබූ තත්ත්වයට එනම් සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක මට්ටමකට ඉහළ නංවන්න කියා එම රටවල් අපට දන්වා සිටියා. ඒ කියන්නේ දැන් තිබෙන ආදායම වසර 03ක් තුළ 75%කින් ඉහළ නැංවිය යුතුයි. එයයි අපට තිබෙන අභියෝගය. එසේ නොකළහොත් අපට ආධාර ලැබෙන්නේ නැහැ. එසේ සිදු කරනවා නම් විශාල බරක් දැරීමට සිදුවෙනවා. එහෙත් අපට ඉදිරියට යා හැකියි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු සමග අපට වාද කිරීම අසිරුයි.

මේ තත්ත්වය තවත් පැහැදිළි කරනවා නම් අපට 2019 වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 15ක් තිබුණා. ඊළගට වැට් බදු, ජාතිය සංවර්ධනය කිරීමේ බදු ගෙවන අය ගත්තොත් ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසක් තිබුණා.

සම්පුර්ණයෙන් ලක්ෂ 16ක ලිපිගොනු තිබුණා. පසුව සිදු වූ මේ බදු ඉවත් කිරීමත් සමග 2021 දෙසැම්බර් මාසය වන විට අපට ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 04යි තිබුණේ. එය ලක්ෂ 15 සිට ලක්ෂ 04 දක්වා අඩු වී තිබුණා.

ඒ වගේම අනිත් බදු ගෙවන ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසේ සිට නවදහස නවසිය හැත්තෑ හයකට අඩු වුණා. එහෙමනම් අපට තිබු බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 16 සිට ලක්ෂ 04කට අඩු වුණා. ඒ අනුව ඔවුන් අපට පෙන්වා දුන්නා මේ බදු අය කරන එක අඩු කළහම අපි කොහොමද අපේ ජනතාවගෙන් අය කරගන්න බදු ඔබලට ලබා දෙන්නේ කියලා. ඒ අනුව තමයි අපි බදු අය කිරීම මේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ. මෙම පියවර නොගත්තොත් අපට ඉදිරියට යන්න බැහැ.

2023 ජනවාරි 25 වෙනිදා අපට ලැබුණු ආදායම රුපියල් බිලියන 145යි. වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි යන සියලු ප්‍රාග්ධන වියදම් ගත් විට බිලියන 143යි. එපමණක් නොවෙයි ණය ගෙවීමට තව බිලියන 355ක් අවශ්‍යයි. ජනවාරි මාසයේ අපේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 498යි. එහෙත් අපේ ආදායම මිලියන 145යි. විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් කාලයත් සමග අපට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකියාව තිබෙනවා.

ඒ වගේම තවත් ගැටලු තිබෙනවා 2022 වර්ෂයේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 794යි. අපට ඒවා පියවීමට මේ වසරේ මුදල් නැහැ. ඒ නිසා අපි මේ අලාභය පියවා ගත යුතුයි. අද විදුලිබිල ගැටලුව සියලුදෙනාට බලපා තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා තිබෙන්නේ බදු ආදායම් ලබා ගන්නේ නැත්නම් අනෙක් රටවල බදු ආදායම ලබා දෙන්නේ නැහැ කියලා. ඒ අය තව කාරණයක් පෙන්වා දුන්නා. අපේ රටේ වැඩිම බදු වියදම් තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා. තායිලන්තය වැනි රටවල තීරුබදු වලින් ලැබෙන්නේ රජයේ ආදායමෙන් 2.8%යි. ආදායම් බදුවලින් ලැබෙනවා 30.1%ක්. ඉන්දියාව තීරුබදු වලින් 4.5%ක් ලබන අතර ආදයම් බදුවලින් 45.6%ක් ලබනවා. අපේ රටේ තීරු බදුවලින් 26.3% ලැබෙන අතර ආදායම් බදු වලින් ලැබෙන් 17.7%යි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන්නා බදු ඉහළ නංවන විට ආදායම් බදු ඉහළ නංවන්න, වෙනත් බදුවලින් අය කර ගැනීම නිසා අඩු ආදායම්ලාභී ජනතාව අපහසුතාවට පත්වෙනවා කියලා.

අපි සියලුදෙනා අසීරු අවස්ථාවක ඉන්න බව මම පිළිගන්නවා. ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ හොද අස්වැන්නක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. බඩු මිල, ප්‍රවාහන වියදම්, තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන පීඩාව අපි සියලුදෙනා දරාගෙන ඉන්නවා. අපට මෙයින් ඈත් වෙන්න බැහැ.

අපේ අදායම් ස්ථාවර මට්ටමකට පැමිණෙනවා නම්, මීට වඩා දියුණු වෙනව නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයින් සියලුදෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දියුණුවීමත් සමග වැටුප් ඉහළ නැංවිය යුතුයි. අපි ලාභය ඉහළ නංවාගත යුතුයි.

මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයෙක්ලෙස අසීරු කාර්යයක්. එහෙත් මම පැරදුනත්, දිනුවත් ඇත්ත තත්ත්වය සෑම විටම පෙන්වා දෙනවා. ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

ජපානය ඇතුළු පැරිස් සමුළුවේ රටවල් එකතුවෙලා අපේ මේ යෝජනා පිළිඅරගෙන සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කළා.

චීනය දැන් එම යෝජනාව පිළිගෙන තිබෙනවා. පෙබරවාරි මාසය වන විට ඇති වන මෙම තත්ත්වය සමග අපට විදේශ විනිමය ලැබෙනවා. එවිට ක්‍රමානුකූලව මේ ප්‍රශ්න විසදා ගත හැකියි. අපි අලුත් ආර්ථිකයක් ඇති කළයුතුයි. අනුරාධපුර රාජධානිය ණය වෙලා හිටියේ නැහැ. ශක්තිමත් රාජධානියක් තිබුණා. අපි එය මතක තබාගෙන ආර්ථිකය ගොඩනැංවිය යුතුයි.

ත්‍රෛනිකායික මහා නායක සහ අනුනායක හිමිවරුන් ද, අටමස්ථානය නියෝජනය කරන සියලු විහාරාධිකාරී හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු සහ මැති ඇමතිවරු  ඇතුළු පිරිසක් ඒක්ව සිටියහ.