Tuesday, April 16, 2024
Follow Us
මංතීරු නිතිය හෙට සිට යලි ක්‍රියාත්මකයි

ප්‍රධාන නගර කිහිපයක පසුගිය කාල සීමාවේදී අත්හදා බැලීමක් ලෙස සිදුකළ මංතීරු නිතිය හෙට (27) සිට යලි ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය තීරණය කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

මෙම මංතීරු නිතිය ක්‍රියාත්මක කල සමයේදී රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණු බවත්, වාහන තදබදය අවම වූ බවට නිරීක්ෂණය කල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

රටේ ප්‍රධාන නගර තුල යලි ක්‍රියාවට නගන්න නියමිත මංතීරු නිතිය සදහා හෙට දිනයේ සිට සති දෙකක සහන කාලයක් ලබා දීමට ද පොලිසිය තීරණය කර තිබෙනවා. එම කාලයේදී බස් රථ සහ බර වාහන රියදුරන් එම නීතියට අනුගත වීම සිදුකළ යුතු බවයි පොලිසි දැනුම් දෙන්නේ.

සති දෙකක සහන කාලය අවසන් වීමෙන් පසු මංතීරු නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගන්න බවත් ඒ සදහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ වීඩියෝ තාක්ෂණය මගින් වැරදි කරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

(Neth)