Friday, April 26, 2024
Follow Us
ඉදිරි දිනවලත් ගෑස් භාවිතය පරිස්සමෙන් - ආණ්ඩුව ජනතාවට කියයි

ඉදිරි දින කිහිපයේත් ගෘහස්ථ ගෑස් පරිභෝජනයේදී පෙරට වඩා සැලකිලිමත් වන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ජනතාවට දැනුම් දෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි දිනවලදී දැනට ගෘහස්ථව භාවිත කරන ගෑස් සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති ගෑස් පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉකුත් සමයේ සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ සියලු තොරතුරු මේවනවිට රැස්කර අවසන් බවයි.

මෙරට සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් සියයට 53 කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බව ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා.

ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලි 458 ක් ඉකුත් ඉරිදා දින වනවිට ලැබී ඇති අතර ඉන් පැමිණිලි 430ක්ම ලැබී ඇත්තේ නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා කාලය තුළයි.

අදාළ කාලය තුළ පමණක් ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 227 ක්.

පැමිණිලි 174 ක් ලැබී ඇත්තේ ගෑස් ලිපෙහි මුහුණත බිඳීයාම් හා ගෑස් ලිප් පුපුරායාම් සම්බන්ධයෙන්.

(Neth)