Thursday, May 02, 2024
Follow Us
පාසල් සිසුන්ගේ අහිමිවූ අධ්‍යාපන කාලසීමාව ගැන හෙළිදරව්වක්

සිසුන්ගේ අහිමි වූ අධ්‍යාපන කාලසීමාව ආවරණයට සැලැස්මක්


කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 හා 2021 වර්ෂයන්හිදී පාසල් සිසුන්ගේ අහිමිවූ අධ්‍යාපන කාලසීමාව ජාතික අධ්‍යාපන ආයතනය විසින් පළාත් මට්ටමින් ගණනය කොට තිබේ.

ඒ අනුව 2020 වසරේදී බස්නාහිර පළාතේ සිසුන්ගේ අධ්‍යාපන කාල සීමාව සියයට 52ක් හා දිවයිනේ සෙසු පළාත්වල එම කාලසීමාව සියයට 37ක් වශයෙන්ද ගණනය කොට ඇත.

එම ආයතනයේ ගණනය කිරීම්වලට අනුව 2021 වසරේ අගෝසතු 31 වැනි දින වන විට බස්නාහිර පළාතේ සිංහල හා දෙමළ සිසුන්ගේ අහිමි වී ඇති අධ්‍යාපන කාලය සියයට 89ක් වන අතර මුස්ලිම් සිසුන්ගේ අහිමි වී ඇති අධ්‍යාපන කාල සීමාව සියයට 93කි.

දිවයිනේ සෙසු පළාත්වල සිංහල හා දෙමළ සිසුන්ගේ අහිමි වී ඇති අධ්‍යාපන කාලසීමාව සියයට 54ක් අධ්‍යාපන කාල සීමාව අහිමි වී ඇති මුස්ලිම් සිසුන්ගේ ප්‍රමාණය සියයට 58කි.

මේ පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සඳහන් කළේ පාසල් සිසුන්ගේ අහිමි වී ඇති අධ්‍යාපන කාලසීමාව ආවරණය කිරීම සඳහා සති 20ක ආවරණ සැලැස්මක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යෝජනා කොට ඇති බවය.

අතපසු වූ අත්‍යවශ්‍ය අධ්‍යාපන කොටස් සම්පූර්ණ කිරීම සඳහා අමතර කාලපරිච්ඡේද 800ක් යෝජනා කර ඇති බව ඔහු සඳහන් කළේය.

මේ අතර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පය අනුව ඉදිරි පන්ති පැවැත්වීම සඳහා එළඹෙන තත්ත්වය අනුව කාලය වෙන් කර ගන්නා ලෙසද ජාතික අධ්‍යාපන ආයතනය දැනුම් දී තිබේ.

(Aruna)