Wednesday, May 01, 2024
Follow Us
20ට වැඩි අයට තෙවැනි මාත්‍රාව ලැබෙන හැටි මෙන්න

අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටත් අද 3 වන මාත්‍රාව


විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 745ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 555,204 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,086ක් දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 14ක් සමගයි.

එමෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට 3 වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අදත් ක්‍රියාත්මකයි.

ඊයේ දින වන විට මෙරට 3 වන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 163,789ක්.

විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට අදාළ උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි.

(Aruna)