Friday, May 03, 2024
Follow Us
ඩොලර් හිගය වැඩි වුනොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන් : ඇමති විමල් විරවංශ

දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

රට තීරණාත්මක තත්වයක ඇති බව සැබෑ ලෙසම පිළිගන්නවා නම් අපට රටක් ලෙස දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත හැර වෙනත් මාවතක් නැති බවයි විමල් විරවංශ අමාතිවරයා අවධාරණය කර සිටින්නේ.

" අද අපේ රට තිබෙන්නේ ඉතා තීරණාත්මක තැනක. විවෘත ආර්ථිකයේ මුල් අවධිය කියන්නේ හැකිතරම් ඩොලර් ණය හැටියට අරගෙන, විශාල සංවර්ධන ව්‍යාපෘති කරමින්, ඒ සල්ලි පහළට ගලා ඒම නිසා මධ්‍යම පන්තියකුත් අලුතින් බිහි කර ගනිමින් බොහොම සුවපහසුවෙන් ආපු කාලයක්. අපි ඒකට කියනවා උත්පාත අවධිය කියා. මේ විදියට ණය අරගනිමින් එන විට ණය කළමනාකරණය අපහසු වන අවධියක් එනවා. ඒක තමයි අවපාත අවධිය. අපි දැන් ඉන්නේ ඒ අවපාත අවධියේ තීරණාත්මක කෙළවරක.

අපේ රටේ අයවැයක් ගත්තාම ‘රුපියල් සත අයවැයක්’ වගේම ‘ඩොලර් අයවැයකුත්’ තිබෙනවා. අපට රුපියල්වලින් ගෙවන්න බැහැ විදෙස් ණය වාරික සහ පොලිය. ලෝකය වටේ තිබෙන අපේ තානාපති කාර්යාලවලට රුපියල් යවා වැඩක් නැහැ. යවන්න ඕනේ ඩොලර්. පාවහන් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නම් යවන්න ඕනේ ඩොලර්. ‘ඩොලර් බජට් එක’ හරියට තිබුණොත් තමා ‘රුපියල් බජට් එකත්’ හරියට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ‘ඩොලර් අයවැය’ අර්බුදයක් වුවහොත් ‘රුපියල් අයවැය’ හදාගෙන තිබ්බයි කියලා අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ නැහැ" ඇමතිවරයා කියා සිටියා.

මේ හැම දේකටම අපට මුහුණ දෙන්න වෙන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කිරීම මගින් පමණයි. එමගිනුයි රටින් නිකරුණේ එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ ප්‍රමාණයටයි මේ රටට ඩොලර් රැගෙන ඒමට පුළුවන් වෙන්නේ.

රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි.

අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා. එහෙම අභියෝගයට ලක් වන විට උත්තර දෙකක් තිබෙනවා.

එකක් තමයි ‘ඉන්න අයට බනිමින් ඉන්න එක’ නැතිනම් ‘ඊට වඩා හපන් කට්ටියක් ගෙනෙන්න බලන එක’. දෙවන උත්තරය තමයි ‘මේ අභියෝගයෙන් එළියට ඒම සඳහා අපට හැකි සෑම ආකාරයකින්ම කැපකිරීමක් කරලා ඊට දායක වීම’. මම හිතන්නේ ඔබ අපි සැමට තිබෙන්නේ ඒ දෙවැනි මාර්ගය.

(Neth)