Thursday, May 02, 2024
Follow Us
ඇමති නාමල් මහේලට භාරදුන් වගකීම

නාමල් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් කළ ඉල්ලීම


ලංකා ප්‍රිමියර්ලීග් (එල්.පී.එල්.) තරගාවලිය කිසිදු අකටයුත්තකට යොදාගැනීමට නොහැකිවන සේ පැවැත්වීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට තමන් නිල වශයෙන් දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ‘අරුණ’ට පවසන ලදී. මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම්වල යම් අභව්‍ය බවක් පෙනෙන්නට තිබීමත් සමග ඒ පසුපස තරග පාවාදීම් ආදී දෑ සිදුවීමේ හැකියාවක් පැවතිය හැකි බවට පැතිර යන රාවය සම්බන්ධයෙන් කළ විමසීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පවසන ලදී.

ඒ අනුව එල්.පී.එල්. තරගාවලිය අයුතු දෑ සඳහා යොදාගත නොහැකිවන සේ අවශ්‍ය විනිවිදභාවය සහ අධීක්ෂණය සැලසීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම මෙම තරගාවලියේ ක්‍රිකට් ක්‍රීඩාමය අතින් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකිරීම සඳහා මහේල ජයවර්ධන වෙත භාරදුන් බවද පැවසීය. ඒ අනුව පුහුණුකරණ අංශයේදී පවත්වාගත යුතු සංයුතිය ආදිය ගැනද උපදෙස් දුන් බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා කණ්ඩායම් හිමිකාරීත්වයේ අභිමතය පරිදි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් විදෙස් පුහුණුකරුවකු යෙදවීමේ හැකියාව ලබාදෙන අතරවාරයේ එහි සෙසු සහය පුහුණුකරුවන් සියලුදෙනා මෙරටින් යෙදවිය යුතු බවට සිය මතය දැනුම් දී ඇතැයි පවසන ලදී.
එල්.පී.එල් තරගාවලිය මගින් මෙරට තරුණ ක්‍රීඩකයන් වෙත අවස්ථාව උදාකරගෙන අතරවාරයේ එය මෙරටට විදේශ විනිමය කැඳවන සහ සංචාරක ආකර්ෂණය වඩවන සන්නාමයක් බවට පත්කිරීම තම අරමුණ බවද ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

(Aruna)