Friday, May 03, 2024
Follow Us
සැලසුමකින් තොරව ව්‍යාපෘති වෙනුවෙන් කෝටි 335 ක් ගෙවා ඇතැයි හෙළිවෙයි

විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3,352 කට අධික මුදලක් වැය කර ඇතැයි කෝප් කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. ඉන් රුපියල් මිලියන 2,300 කට අධික මුදලක් වැය කර ඇත්තේ මිල්ලනිය අපනයන සැකසුම් කළාපය සඳහායි. එම අපනයන සැලසුම් කළාපය ඉදිකිරීමට යෝජිත භූමියේ හිමිකාරිත්වය හෝ නිරවුල් කර ගැනීමකින් තොරව එතරම් මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාවේදී අවදානයට යොමු වුණා.

මිල්ලනිය අපනයන සැකසුම් කළාපයට අදාළව ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ද මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 91 කට අධික මුදලක් ගෙවා තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සේවා ආයතන වෙත ගෙවා තිබෙන මුදල රුපියල් මිලියන 2,088 කට අධිකයි. ගිවිසුම්වලට ඇතුලත්වීමකින් තොරව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වැය කළේ කුමන හේතුවක් මතද යන්න කෝප් කාරක සභාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

මෙම මුදල් වියදම් කර ඇති ආකාරය පිළිබද කඩිනමින් සොයාබලා කෝප් කාරක සභාව වෙත මාස 03 ක් ඇතුලත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි එම කාරක සභාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල වෙත දැනුම්දී ඇත්තේ.

මේ අතර 2020 වසරේ දෙසැම්බර් 31 වනදා වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අපනයන සැකසුම් කලාප හා කාර්මික උද්‍යාන 12 ක, වසා දමන ලද හෝ අත්හිටුවන ලද හෝ ගිවිසුම් අවලංගු කළ හෝ ව්‍යාපෘති 484 ක් ඇති බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගනිමින් මාසික වේතනයක් ගෙවා පුද්ගලයින් 07 දෙනෙකු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කෝප් කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. එලෙස බඳවා ගත්තේ ඇයි දැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මෙහිදී විමසා ඇති අතර එවැනි සිදුවීම් මගින් ආයතනයේ අභ්‍යන්තර ගැටුම් ඇතිවන බවයි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පෙන්වා දී ඇත්තේ.

(Neth)