Friday, May 03, 2024
Follow Us
වැසි අඩුවෙයි - ගංගා ජලමට්ටමත් ක්‍රමයෙන් පහලට

දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එය මේ වනවිට ස්ථානගතව පවතින්නේ පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 250 ක් පමණ උතුරු දෙසින්. එම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ශිරෝමනී ජයවර්ධන පැවසුවේ.

ගංගා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑ සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් පහව යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ, ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.

මේ අතර දිස්ත්‍රික්ක 17 කට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 25 ක් වාර්තා වී තිබෙනවා. පවුල් 60,264 කට අයත් පුද්ගලයින් දෙලක්‍ෂ 12,060 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
ජල ගැලීම් හේතුවෙන් නිවාස 23 කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 1,229 කට අර්ධහානි සිදුව තිබෙනවා. පවුල් 3,648 ක් මධ්‍යස්ථාන 76 ක රදවා සිටින බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

(Neth)