Friday, May 17, 2024
Follow Us
අලි සබ්‍රි ජයගනී. පනත් කෙටුම්පත් සකස් කිරීමේ බලය ඥානසාර හිමිට දීමේ ගැසට්ටුවත් රිවස් !

එක රටක් - එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත් කරගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 26 වනදා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන්ව තිබුණේ "එක රටක් - එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙම කාර්ය සාධක බලකායේ කාර්යය වන අතර ඊට අදාළ සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට ඒවා ඇතුළු කිරීම අධිකරණ අමාත්‍යාංශයේ කාර්යයක් වන බවටයි.

නමුත් නොවැම්බර් 06 දිනැතිව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් එම කාර්ය සාධක බලකායේ කාර්යය සංශෝධනය කර ඇති අතර එහි ඇත්තේ එක රටක් එක නීතියක් සංකල්පය පිළිබඳ විවිධ පාර්ශ්ව දරණ අදහස් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ආවේණික සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණක් එම කාර්ය සාධක බලකායට පැවරී ඇති බවය.

ඒ අනුව පනත් කෙටුම්පත් සකස් කිරීමේ බලය එම ජනාධිපති කාර්ය සාධක බලකායෙන් පැහැදිලිවම ඉවත් කර තිබෙනවා.

මෙසේ අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර්යයක් වන පනත් කෙටුම්පත් සකස් කිරීම ඥානසාර හිමිගේ කාර්ය සාධක බලකායට පැවරීම පිළිබඳව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය දැඩි විරෝධය පළකර තිබුණු අතර ඒ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව වාර්තා වී තිබුණා. නව සංශෝධිත ගැසට් නිවේදනය අනුව පෙන්නුම් කෙරෙන්නේ අලි සබ්‍රි මහතා සිය සටනින් ජයගෙන ඇති බවයි.

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹීම රටේ නීතියේ පැත්තෙන් ගත්විට යහපත් දෙයක් බවත් සඳහන් කළ යුතුයි.

(LNW)