Tuesday, April 23, 2024
Follow Us
දුම්රිය සේවය නතර කිරීමේ ආණ්ඩුවේ සැලැස්මක්?

දුම්රිය වෘත්තිය සමිතියක් ඇමැතිගෙන් පැනයක් විමසයි


බස් රථ ධාවනය ආරම්භ කර ඇති බවත් එසේ නමුදු තවමත් දුම්රිය ධාවනය නතර කිරීම සම්බන්ධව නිශ්චිත හේතු නෙදන්නා බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් විමසා සිටී.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණද, ඒ පිළබඳව නිසි අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැති බවත් මේ ආකාරයෙන් රටේ බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අතර, දුම්රිය සේවකයින් බොහෝ දෙනෙක් රාජකාරී වල නිරත කර ඇති බවද එම සංගමය සඳහන් කර සිටී.

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී. විතානගේ විසින් ප්‍රවාහන අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවමින් මේ බව විමසා ඇත.

එසේ වුවද, දුම්රිය ධාවනය නොකිරීම නිසා, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවකයින්ට මෙන්ම ප්‍රවාහන මාධ්‍යක් ලෙස දුම්රිය භාවිතා කළ සියළු මගීන්ට දැඩි දුෂ්කර තත්වයකට මුහුණදීමට සිදුවී ඇති අතර නැවත දන්වන තුරු දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා ඇති බව දුම්රිය බලධාරීන් මේ වන විට නිවේදනය කොට ඇති බවත් මෙය දුම්රිය සේවයේ අවසානය සනිටුහන් කිරීමක් ද යන්න සැක සහිත බවද ඔහු පෙන්වා දෙයි.

අනිකුත් සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක් බවද දුම්රිය ධාවනය නොකරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දුම්රිය බලධාරීන් පවා නොදන්නා බවත් නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයකට අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ලෙසත්, එසේ ආරම්භ කිරීමට නොහැක්කේනම් ඒ සඳහා බලපා ඇති කරුණු මොනවාද යන්න පිළිබඳවත් තම සංධානය දැනුම්වත් කරන ලෙසද, සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී.විතානගේ අමාත්‍යවරියගෙන් ඉල්ලා ඇත.

(Aruna)