Thursday, May 09, 2024
Follow Us
කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගැන තීරණය අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. රටේ දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ. කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන මෙම රැස්වීමේදී තීරණයකට එළඹීමට නියමිත බවටද වාර්තා වනවා.

දින ගණනාවක් තිස්සේ පවතින ආනයනික කිරිපිටි හිගයට මෙතෙක් නිසි විසදුම් ලැබී නැහැ. ඩොලර් හිඟයත් සමග වරායට රැගෙනවිත් ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීමට ඇති බාධා හේතුවෙන් කිරිපිටි මෙරට වෙළදපොලට නිකුත් කිරිමට නොහැකි වූ බවයි කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ.

මෙම සතිය තුළ එම ගැටළුවටද විසදුම් ලැබෙනු ඇති බව නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා. එවන් වටපිටාවක් තුළ ඊයේ දිනයේද ප්‍රදේශ කිහිපයක කිරිපිටි පෝලිම් දක්නට ලැබුණා. කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ අනිවාර්යයෙන්ම ආනයනික කිරිපිටි මිල ඉහළ දැමිය යුතු බවයි. කිලෝ එකේ පැකට්ටුවක් රුපියල් 350 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින් ඉහළ නංවන ලෙසටයි කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා සිටින්නේ.

කෙසේවෙතත් ඉකුත්දා පැවති ජීවන වියදම් කමිටුවේදී එකඟතාවට පැමිණ ඇත්තේ කිලෝ එකේ පැකට්ටුවක් රුපියල් 200 කින් ඉහළ දැමීමටයි. ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් සියයකට ආසන්න මුදලකින් ඉහළ දැමීමට එහිදී එකඟතාවක් පළවී ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් මිල සම්බන්ධයෙන්ද ඉකුත් දින කිහිපය තිස්සේ පවතින්නේ ගැටළුකාරී තත්ත්වයක්. ගෑස් හිඟයත් සමග ලාෆ් ගෑස් සමාගමට මිල වැඩි කිරීමට අවසර ලබාදුන්නද ලිට්‍රෝ ගෑස් තවමත් අළෙවි කෙරෙන්නේ පැවති මිලටමයි. කෙසේවෙතත් වෙළදපොලේ ලාෆ් ගෑස් හිගයක් මේ වනවිට මතුව තිබෙනවා. පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ ඉදිරි ගෑස් මිල වැඩි කිරීමටද සිදුවන බවයි.

සිමෙන්ති ද අවශ්‍ය තරම් වෙළදපොල තුළ නොමැති බවටයි පාරිභෝගිකයින් දිගින් දිගටම චෝදනා කළේ. මේ හේතුවෙන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

(Neth)