Friday, May 03, 2024
Follow Us
පොළොන්නරුව OIC ගේ හදිසි ස්ථාන මාරුව විෂයභාර ඇමතිගේ අවධානයට

පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඹට හදිසියේ ස්ථාන මාරුකර යැවීම සම්බන්ධයෙන් තමන් සොයා බැලීමක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. මෙම ස්ථානමාරු වීම පොලොන්නරුව ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ බලපෑමක් මත සිදු වූ බවටයි පැවසෙන්නේ.

පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ නව ස්ථානධිපතිවරයා ලෙස මීට පෙර එහි ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා පත් කිරීමට, අදාල දේශපාලඥයා කටයුතු කරමින් සිටින බවට ද වාර්තා වනවා.

එම නිලධාරියා පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී මැතිවරණ සමයේදී චෝදනා එල්ලවීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් මත කොළඹට ස්ථානමාරු කෙරුණු අයෙක්.

මේ වන විට පොළොන්නරුවේ සිට කොළඹට ස්ථානමාරු කළ පොළොන්නරු මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආලෝක සේනානායක, පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවය දිනා ගනිමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට දැඩි උනන්දුවකින් කටයුතු කළ නිලධාරියෙකු ද වනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් දේශපාලඥයින්ගේ වුවමනා මත මාරු කිරීමේ සිද්ධීන් පිළිබඳ ඉකුත්දා දැඩි කථා බහක්ද ඇති වූ අතර ඊට පාර්ශව රැසකින් විරෝධතා එල්ල වුණා. එවන් පසුබිමක යළි යළිත් මෙවැනි අවිධිමත් ස්ථානමාරුවීම් සිදු කර තිබීම කණගාටුවට කරුණක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ කොළඹට ස්ථාන මාරු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නෙත් නිවුස් මෙලෙස වීමසීමක් කළා.

මැතිවරණ සමයේදී එල්ලවූ චෝදනා හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් මත කොළඹට ස්ථාන මාරුකර යැවුණු නිලධාරියා යළි අදාල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත්කිරීමේ සූදානමක් ඇති බවට පවතින රාවය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් විමසීමක් කළා.

(Neth)