Friday, May 03, 2024
Follow Us
අවුරුදු 15 ත් 19 ත් අතර පිරිසට කොරෝනා මර්දන එන්නත

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

මෙරට අවුරුදු 15 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිසට කොරෝනා මර්දන එන්නත ලබාදීම ආරම්භ කරන දින වකවානු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්දීමක් සිදුකරනු ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින්, ඇනවුම් කර තිබූ ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 40 න්, පළමු එන්නත් තොගය ලෙස, එන්නත් මාත්‍රා තුන්ලක්ෂ 4,000 ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. එම එන්නත් මාත්‍රා තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට , කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් රැගෙනවිත් අනතුරුව එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව, ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර තිබෙනවා. අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම එන්නත් තොගය එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 802 දෙදෙනෙකු සහ කොරෝනා මරණ 40 ක් මෙරටින් ඊයේ වාර්තා වුණා. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක 02 හි පමණක් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වූ බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)