Saturday, May 04, 2024
Follow Us
රට විවෘත කිරීමෙන් පසු පැනවෙන සිමා

බස්රථ සහ දුම්රිය ගැනත් තීරණයක්


රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වන බවත් ඒ සමග කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

අද (01) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ඔවුන් මේ බව සඳහන් කළා.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේ දී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතුය. අදාළ චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මගින් පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තවද මගී අවශ්‍යතාව මත බස්රථ සහ දුම්රිය ප්‍රමාණවත් පරිදි ධාවනයට එක්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහණයෙන් 95%කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.

අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවනවා.

එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.

සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු බවද වාර්තා වනවා

(Aruna)