Saturday, May 04, 2024
Follow Us
නඩුවලට දරුවන් උසාවි කැඳවන්නේ නෑ

ලමයින් වෙනුවෙන් අද සිට ක්‍රියාත්මක කරන දේ


අපරාධ නඩුවලට සම්බන්ධ දරුවන් වෙනත් ස්ථානයක තබා වීඩියෝ තාක්ෂණයෙන් ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය ලෝක ළමා දිනයට සමගාමීව අද(01) සිට ආරම්භ කරන බව අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසුවේය.

එවැනි දරුවන් මින් ඉදිරියට සාක්ෂි කූඩුවට නොකැඳවන බවත් ඒ ඔහු කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (30 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ මෙම නීතිය වසර ගණනාවක් තිස්සේ පැවතියද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුවේ ඉතාමත් අඩු වශයෙන් බවය.

ළමයින්ගේ සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක් අද සිට ආරම්භ කරන බවත් ළමයින් සම්බන්ධ අපරාධවලදී හැකි තරමක් පුද්ගලික සාක්ෂි උපයෝගී නොකර විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි මත පදනම්ව කටයුතු කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් ඔහු කියා සිටියේය.

ළමා අපයෝජනවලට ලක්වෙන වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුකරනවා මෙන්ම නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඉතාමත් ඉක්මනින් වැරදිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය. ළමා අපයෝජනයක් සිදු කර පුද්ගලයකු වැරදිකරුවකු වුවහොත් එම තැනැත්තාට එරෙහිව වසර විස්සක් බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට හැකි බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා ළමයින් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 17 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයත් ළමා හා කාන්තා කාර්යංශයත් ඒකාබද්ධව අපරාධ වැළැක්වීමට කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

(Aruna)