Saturday, May 04, 2024
Follow Us
ත්‍රීවිල්වල යන මගීන් මේ ගැන දැනුවත් වන්න

සියලුම ත්‍රිරෝද රථ රියැදුරන්ට පණිවිඩයක්


රට නැවත විවෘත කිරීමෙන් පසු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති මෙරට සියලුම ත්‍රි රෝද රථ රියදුරුන් එන්නත ලබාගෙන ඇති බවට ප්‍රදර්ශනය කරමින් ත්‍රිරෝද රථයේ ස්ටිකරයක් ඇලවීමට කළ යුතු බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුදිල් දිල්රුක් ‘අරුණට’ පැවසුවේ මේ වන විට ලක්ෂ අටහමාරක් පමණ වන මෙරට ත්‍රි රෝද රථ රියැදුරන්ගෙන් ඇති බහුතරයක් එන්නත ලබාගෙන ඇති බවය.

කිසිදු බිය සැකයකින් තොරව ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සේවය ලබාගැනීමට මහජනතාවට විශ්වාසයක් ඇති කිරීම සඳහා මෙම ස්ටිකරය හඳුන්වා දීමට කටයුතු කරන බවත් තවත් නොබෝ දිනකින් සියලුම රියැදුරන් එන්නත්කරණය සම්පූර්ණ කළ පසු මෙම ක්‍රමය හඳුන්වා දෙන බව ඔහු පවසා සිටියේය. සියලුම ත්‍රිරෝද රථ සංගම් මගින් මේ වන විටත් ආරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම පිළිබඳව උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ වන විටත් එන්නත්කරණය සම්පූර්ණ කළ නොමැති රියැදුරන් සිටි නම් ඉතාමත් ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් එන්නත ලබානොගෙන මගීන්ගේ ජීවිත සහ තමන්ගේ ජීවිතද අනතුරෙහි හෙළීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවද සභාපතිවරයා පැවසීය. කොරෝනා වසංගත තත්වය මත රැකියාව කිරීමට නොහැකිව දැඩිව අසරණ වුවේ ත්‍රි රෝද රථ රියැදුරන් බවත් රජය තවමත් ඔවුන් වෙනුවෙන් කිසිදු සහනයක් ලබාදී නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

(Aruna)