Friday, May 03, 2024
Follow Us
වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ඉල්ලා අස්වීම බලධාරීන්ට පාඩමක්. නැවත සලකා බලන්නැයි ඉල්ලනවා - සෞ. මා.

බෝවෙන රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගත් තීරණය දැනටමත් කාගේත් ඇස් ඇරවීමට ප්‍රමාණවත් බවත් එම තීරණය ගැන නැවත සලකා බලන්නැයි ඒ මහතාගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

"එතුමා ගත්ත තීරණයට අපි ගරු කරනවා. ඒක අපට එතුමාගේ උපදෙස් හැමදාම වැදගත් වුණා. මම හිතනවා එතුමා ඒ තීරණය ගැන නැවත සලකා බලලා - මොකද මේ සටනේදී එතුමා වාගෙ කෙනෙක් මේ තැන්වලින් ඉවත් වීමෙන් මං හිතනවා අපට ඒ ප්‍රශ්නය විසඳාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒක තවත් ඒ අය දුර්වල වීමක් විතරයි වෙන්නෙ. නැවතත් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන නැවත සලකලා බලලා අපට රට වෙනුවෙන්, ඒ වගේම පොදුවේ අපේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නැවත මේ සම්බන්ධයෙන් හිතලා බලන්න කියලා. නමුත් අපට මේ මොහොතේ කියන්න තියෙන්නෙ එතුමා ඒ ගත්ත පුද්ගලික තීරණයට අපට ගරු කරන්න සිද්ධ වෙනවා"

ප්‍රශ්නය - එතුමා ඉල්ලා අස්වෙන්න හේතුව එන්නත්කරණය පිළිබඳ කාරණයක්. ඔහු දිගටම කියලා තිබුණා වයස 60 ට වැඩි අයට එන්නත් දෙන්න කියලා. දැන් වෛද්‍යවරුන්ගේ හඬට ඇහුම්කන් නොදෙන තත්වයක් තුළයි මේවා සිදුවෙන්නෙ කියන කාරණය ?

"මං හිතනවා එවැනි කාරණයක් පිළිබඳව හැඟීමක් තියෙනවා නම් එතුමා ගත්ත මේ ක්‍රියාමාර්ගයම කවුරුහරි ඒක කරනවා නම් ඔවුන්ගේ ඇස් හරින්න ප්‍රමාණවත් වෙයි කියලා. එවැනි තත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන විශේෂඥයින්ගෙ උපදෙස් අනුව විද්‍යානුකූලව මේ කටයුත්ත කරගෙන යෑමට නැවතත් අවස්ථාවක් කාටවත් නොලැබෙනවා නොවන නිසා අපි නැවතත් මේ සම්බන්ධයෙන් සලකලා බලලා ඉදිරියේදී වඩාත් නිවැරදි ලෙස කටයුතු කරන්න සියලු දෙනාටම මේක අවස්ථාවක් ලෙස සලකලා කටයුතු කරන එක මං හිතනවා වඩා වැදගත් වෙනවා. මං හිතනවා අපි ඒක නිවැරදි කරගෙන යෑම මේ සම්බන්ධයෙන් ඉන්න අපි සියලු දෙනාගේම වගකීම. ඔහු නැතිව අපට මේක කරන්න පුළුවන් කියලා හෝ එවැනි තත්වයට යන්න තරම් මං හිතන්නෙ නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය අපි මේවා වෙලා තියෙනවා කියලා"

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)