Friday, May 03, 2024
Follow Us
දිනේෂ් සහ සමිතට නවීන මෝටර් රථ දෙකක් : පැරා ඔලිම්පික් ජයග්‍රාහකයින්ට රු.මිලියන 106ක් තෑගි ලෙස දෙන්න කැබිනට් අනුමැතිය

පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගිවී ජයග්‍රහණය ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා මුදල් ත්‍යාග ලබාදීම සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 106.625ක් වනවා.

ඒ අනුව රන් පදක්කමක් ජයග්‍රහණය කළ අයෙකුට ශ්‍රී ලංකා මුදලින් මිලියන 50ක්, ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙකුට මිලියන 20ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම ලෝක වාර්තාව පිහිටුවනු ලැබූ යුද හමුදාවේ බලලත් නිලධාරි -1 දිනේෂ් ප්‍රියන්ත හට රුපියල් මිලියන 10ක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදීමට තීරණය කර ඇත. එමෙන්ම ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද දිනේෂ් ප්‍රියන්ත හට තවත් රුපියල් මිලියන 10ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මිට අමතරව පැරා ඔලිම්පික් තරගාවලියේදී 4වන - 8වන ස්ථාන වල තරග අවසන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් සහ 9 සිට 16 දක්වා තරග අවසන් කළ ක්‍රීඩකයින්ට රුපියල් මිලියනය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකළ පුහුණුකරුවන් සඳහා ද රුපියල් මිලියන 19.125ක් ත්‍යාග ලෙස ලබාදීමට තීරණය කර ඇත.

මේ අතර පැරා ඔලිම්පික් තරගාවලියේදී රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු හට ශ්‍රී ලංකා වාහන අපනයන කරුවන්ගේ සංගමය විසින් මෝටර් රථ දෙකක් පරිත්‍යාග කොට තිබෙනවා.

(Neth)