Friday, May 03, 2024
Follow Us
85ට ගෙනා සීනි දැන් 122ට දෙන කතාව ඇත්ත. ඒක වුණේ මාස 6ට ඩොලරය 196 සිට 230ට නැග්ග නිසා - ලසන්ත

රුපියල් 85ට වරායට ගොඩබාන ලද සීනි කිලෝව මේ වනවිට රුපියල් 122ට විකිණීමට රජය අවසර ලබාදී ඇති බවට විපක්ෂය නඟන චෝදනාව සත්‍ය යැයි පිළිගන්නා නමුත් ඊට හේතුව වී ඇත්තේ මීට මාස හයකට පෙර රුපියල් 196ට තිබුණු ඇමරිකානු ඩොලරයේ අගය මේ වනවිට රුපියල් 230ක් දක්වා ඉහළ ගොස් තිබීම බව පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

"ඉදිරි සිකුරාදා වෙන්න කලින් මේ රටේ සෑම තැනකම සීනි සහ සහල් ගිහිල්ලා කිලෝ දෙක තුනක් ගන්න නෙවෙයි අවශ්‍ය ප්‍රමාණය පාරිභොගික ජනතාවට ලබාගැනීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය මේ වනවිට මේ ගැසට් නිවේදනය ලබාදීපු බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා.

ඒ වගේම දැන් ශත 25 බද්ද පිළිබඳව කතා කරනවා. සීනි රුපියල් 145 යි, අපි බද්ද අඩු කරලා කිව්වා 85ට විකුණන්න ඕනෙ කියලා. වික්කෙ නෑ, ඇත්ත. පිළිගන්නවා අපි. නමුත් බද්ද තිබුණා නම් 150ට 155ට යන්න තිබුණ සීනි 105ට 110ට වෙළඳපොල තුළ තිබුණා. ආණ්ඩුවෙ බලාපොරොත්තුව 100%ක්ම ඉටු කරගන්න පුළුවන් වුණේ නෑ, ඒක සෑම බද්දකම සිදුවන දෙයක්.

ඒ වගේම වර්තමානයේ අරගෙන තිබෙන සීනි නැවත ඒ අයටම දෙනවාලු, ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඒවගේම මේ 85ට ගෙනාපු සීනි දැන් 116ට 122ට දෙනවාලු. ඇත්ත. දෙනවා. මේ මිල ගණන් තීරණය කළේ ඇයි ? ඒ වෙලාවෙ ඩොලර් එක තිබුණෙ 196ට. අද මහබැංකුව මේක 203ක් විදියට ප්‍රකාශයට පත් කළත් අද අපි කියන්න ඕනෙ ප්‍රායෝගික තත්වය මීට මාස හයකට කලින් ගෙනාපු සීනිවලට ඩොලර් දෙනකොට අද බැංකුවලින් ගන්න සිද්ධ වෙලා තිබෙන්නෙ 230යි, 229යි"

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති රෙගුලාසි විවාදයට එක්වෙමිනි.

(LNW)