ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදී සමාජ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
සන්නිවේදනයේ සිදුවන සීග්‍ර වර්ධනයත් සමගින් මේ වන විට සමාජ ජාලා මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නා ප්‍රධාන මෙවලමක් බවට පත්ව ඇති අතර එය දේශපාලනයට මෙන්ම මැතිවරණ ප්‍රචාරණය සඳහා ද සෘජුවම යොදා ගනී.
මෙතෙක් නීතිවිරෝධී පෝස්ටර්, කටවුට් පිළිබඳව හා වෙනත් ප්රචාරක උපක්‍රම පාලනය කිරීම සඳහා නීති-රීති සම්පාදන වුවද සමාජ ජාලා මාධ්‍ය හරහා සිදු කරන ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් එවැනි නීති කිසිවක් ක්‍රියාත්මක නොවේ. ඒ අනුව මැතිවරණ කාලසීමාවේදී සමාජ ජාලා මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු සහ වෙනත් අපේක්ෂකයන් පිළිබඳව ප්‍රචාරය කරන වෛරී සහ අසත්‍ය ප්‍රකාශ පාලනය කිරීම සඳහා මැදිහත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග පැවති රැස්වීමකදී සාකච්ඡා කර තිබේ. එහිදී මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණ පැවැත්වෙන කාල සීමාවලදී සමාජ ජාලා මාධ්‍ය පාලනය සඳහා සෘජුව මැදිහත්වීමේ හැකියාවක් තම ආයතනයට නොමැති බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍යවල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කොමිසම පවසා තිබෙනවා.
පසුගිය කාලයේදී ජාතිවාදී ගැටුම් ඇතිවූ අවස්ථාවල සහ පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදී සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීමට රජය කටයුතු කළ අතර කෙසේ වෙතත් ඒ හරහා රජය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය අත්කර ගැනීමට හැකි වූයේද යන්න ගැටලුවකි. මන්ද එවැනි අවහිර කිරීමක් සිදු වූ විට ඕනෑම පරිශීලකයෙකුට එම අවහිරතා මගහැර ගැනීමට අවශ්‍ය විකල්ප ඕනෑ තරම් තිබිණි. අවසානයේ සිදු වූයේ රජයේ තීරණය හේතුවෙන් සමාජය තුළ අනවශ්‍ය කලබලයක් ඇති වීම පමණි.
මෙම තත්ත්වය මැතිවරණ කොමිසම විසින් සමාජ ජාලා මාධ්‍ය පාලනයේදී නිවැරදිව අවබෝධ කර නොගතහොත් මැතිවරණ සමයේදී බලාපොරොත්තු නොවන ආකාරයේ අර්බුදවලට පවා මුහුණදීමට සිදු වනු ඇත.
(LNW)