Wednesday, May 15, 2024
Follow Us
රජයෙන් මිලියන 1260ක් බැංකු-මුල්‍ය ආයතනවලට

ඉතා ඉහළ පොලියකට ණය ලබාගෙන ඒවා ආපසු ගෙවීමට නොහැකිව ණය උගුලේ හිරවී සිටින දිස්ත්‍රික්ක 12ක ජනතාව ඉන් බේරා ගැනීමට රජය ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 1260 මුදලක් බැංකු හා මුල්‍ය ආයතන වෙත ගෙවීමට පියවර ගෙන තිබේ.උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල ජීවත්වන අධික පොලියට රුපියල් ලක්ෂයකට අඩුවෙන් ලබා ගෙන ඇති පිරිසගේ ණය මුදල් කපා හැරීම සඳහා මේ මුදල මහාභාණ්ඩාගාරය විසින් දරන බව එහි නියෝජ්‍ය ලේකම් ඒ.එම්. පී.එම්. බී. අතපත්තු මහතා ‘දිනමිණ’ ට ප්‍රකාශ කෙළේය.

මෙම ණය මුදල් කපාහැරීම සඳහා බැංකු හා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන 37 වෙත රජය අවුරුදු තුනක් තුළ වාරික හයක් යටතේ මුදල් ගෙවනු ලබන බවද කී අතපත්තු මහතා එහි දෙවැනි වාරිකය මිලියන 300ක මුදල ලබන මාසයේ දී මහාභාණ්ඩාගාරය විසින් ගෙවීමට නියමිත බවද කීය. පළමුවන වාරිකය වන මිලියන 300 මුදල අගමැති ප්‍රධානත්වයෙන් වැඩසටහන අරඹමින් යාපනයේදී පිරිනමන ලදී.

ග්‍රාමීය ජනතාව වෙත පැමිණ ඉතා ඉහළ පොලියකට රුපියල් ලක්ෂයකට අඩුවෙන් ණය ලබා දීමෙන් දිනෙන් දින එම ජනතාව ණය උගුලේ හසුවෙති. මේ අන්දමේ ණය උගුලේ සිරවී සිටින උතුරු නැගෙනහිර. වයඹ හා උතුරු මැද පළා‍ෙත් දිස්ත්‍රික්ක 12ක අහිංසක ජනතාව ඉන් නිදහස් කර ගැනීමට රජය මේ ණය කපා හැරීමේ වැඩපිළිවෙළ වසර 2018 දී ආරම්භ කෙළේය.

පසුගිය වසර දෙකක කාලය පුරා රටේ පැවැති නියඟය නිසා ක්ෂුද්‍ර මුල්‍ය ණයලාභීන් ණය උගුලක හසුවී ඇති අතර, එය බරපතළ අර්බුදයක් බවට පත් වී තිබුණු බවද අතපත්තු මහතා සිහිපත් කෙළේය.

පිට පිට වගා කන්න 05ක් නියඟය නිසා ගොවිතැන් පාළු වූ යාපනය, මුලතිව්, කිළිනොච්චිය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කෙ ගොවි ජනතාවට මින් විශාල සහනයක් ලැබී ඇතැයිද නි‍යෝජ්‍ය ලේකම්වරයා කීය.

ගොවිජනතාව වෙනුවෙන් රජය ණය මුදලේ හිඟ වාරිකය ගෙවන අතර, පොලී මුදල් ඒ ඒ මුල්‍ය ආයතන විසින් දරා ගත යුතු යැයිද අතපත්තු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය. ඒ අනුව මේ වනවිටත් ගොවිජනතාව වෙනුවෙන් ණය වාරික සියල්ල කපා හැර ඔවුන් ණය බරින් නිදහස් කොට තිබේ.

(Dinamina)