Saturday, April 27, 2024
Follow Us
ආහාර කන්ටේනර දහසක් වරායේ ගුදම්වල

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇණවුම් නතර කරයි


වාණිජ බැංකු මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා දැනට වරායට පැමිණ ඇති භාණ්ඩ ගොඩබෑම නතර වීම හේතුවෙන් ජූලි මාසයේ සිට භාණ්ඩ ඇණවුම් කිරීම නතර කර තිබේ.

එහෙයින් ඉදිරියේදී රටේ ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවීම වැළැක්වීමට වහාම ඊට මැදිහත් වන ලෙස අත්‍යාවශ්‍ය ආහාර වෙළෙඳ භාණ්ඩ ආනයනකරුවන් සහ වෙළෙඳ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.
ඒ අනුව ජූලි මාසයේදී ඇණවුම් කළ අත්‍යාවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් දහසකට ආසන්න ප්‍රමාණයක් වරායේ ගුදම්වලට ගොඩගසා ඇති බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

එහෙත් එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා ඇණවුම්කරුවන්ට ගෙවීම් කළ යුතු බවත්, ඒ සඳහා වාණිජ බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා කන්ටේනර් නිදහස් කරගැනීමට නොහැකි වීමෙන් වරාය ප්‍රමාද ගාස්තු, විදුලි බිල් සේම ප්‍රමාද වීමෙන් ආහාර විනාශ වීමේ පාඩුවද තමන්ට දැරීමට සිදුව ඇති නිසා ඒ සඳහාද මැදිහත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එම සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන් හා ලේකම් ජී.එස්. එළමේන්තන්ගේ අත්සනින් යැවූ ලිපියේ සඳහන් වේ. එහි පිටපතක් අගමැති, මුදල් ඇමැති, වෙළෙඳ ඇමැති, ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට යවා ඇත.

අල, ලූනු, පරිප්පු, සීනි, මිරිස්, සුදු ලූනු ආදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට මසකට ඩොලර් මිලියන අසූවක් පමණ වැයවන බව වාර්තා වේ.

(Aruna)