Friday, April 26, 2024
Follow Us
කොප්පරා ගෙන්වන්න ඩොලර් නෑ. පොල්තෙල් මිලත් ළඟදීම යළිත් ඉහළ යන ලකුණු ...

පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා වියළන ලද කොප්පරා පිටරටින් ආනයනය කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ නමුත් රටේ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඒ සඳහා ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකි වී ඇති බවත් ඒ අනුව නුදුරේදීම යළිත් පොල්තෙල් මිල ඉහළ යා හැකි බවත් පොල්, කිතුල්, තල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

"පොල්තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන සියල්ලම කඩාගෙන වැටිලා තියෙන්නෙ. කැබිනට් පත්‍රිකාවක් 2020 දෙසැම්බර් මාසෙදි අපි ඉදිරිපත් කළා වියළූ කොප්පරා ගෙන්නලා පොල්තෙල් හදන අයට හැම කෙනාටම සමාන විදියට ලබාදීලා පොල්තෙල් නිෂ්පාදනය කරන්න. මම ඉතාමත් කණගාටු වෙනවා දැන් අද ජුලි මාසෙ, තාම මේක අපට කරගන්න බැරිවෙලා තියෙනවා. ඇයි මේක හිරවෙලා තියෙන්නෙ ? මේ තියෙන විදේශ මුදල්වල ප්‍රශ්නයත් එක්කලා මේ ණයවර ලිපි ඇරගන්න බැරි තත්වයක ඉන්නවා.

අපි මේ පොල්තෙල් හදන්න දෙන්න ඕනෙ. පොල්තෙල් හදන්න අවශ්‍ය සහයෝගය දෙන්න ඕනෙ. ඉතිං මම හිතනවා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ඕනෙ. ආයෙ දවසක නැත්නම් හෙට අනිද්දා වෙනකොට පොල්තෙල් මිල ආයෙ ඉහළ යයි. අපි දැන් මේක යන්තම් පාලනය කරලා තියෙනවා. රජය පොල්තෙල්වල බදු අඩුකරන්න කටයුතු කරලා තියෙනවා. ඒ බදු අඩු කරපු එකෙන් සමහරක් අය වෙන වෙන වාසි ගන්න හදනවා නම් ඒකට අපි ඉඩදෙන්නෙ නෑ. දැන් කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් එකපාර පොල්තෙල් බදු අඩුකරලා ආයෙ ගෙනාවාට පස්සෙ බදු වැඩිකරගන්න එහෙමත් අපි දකිනවා. හැබැයි ඒවා කරන්න දෙන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)