Saturday, April 20, 2024
Follow Us
ඛනිජ තෙල් කමිටුව අහෝසි කර අලුත් අධිකාරියක්

මෙතෙක් ක්‍රියාත්මක වූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කමිටුව අහෝසි කර ඒ වෙනුවට ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංවර්ධන අධිකාරිය නමින් අලුත් ආයතනයක් පිහිටුවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ වෙනුවෙන් දැනට බලපවත්නා ඛනිජ තෙල් සම්පත් පනත වෙනුවට හඳුන්වා දෙන අලුත් පනත් කෙටුම්පත බලශක්ති ඇමැති උදය ගම්මන්පිල විසින් නිකුත් කරනු ලැබීය.

කොන්ත්‍රාත්කරුවකු සමග ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පවතින ස්ථාන හඳුනා ගැනීම, පොළොව කැණීම, ගවේෂණය හා සංවර්ධනය කිරීමේ මෙහෙයුම් කටයුතු අධීක්ෂණය සහ එම ක්ෂේත්‍රයේ අංශයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ඛනිජ තෙල් සම්පත්වල උපරිම ආර්ථික වටිනාකම ලබා ගැනීමට නියාමන හා කළමනාකරණ ව්‍යුහයක් සකස් කිරීමද නව පනත මගින් සිදු කෙරේ.

මෙරට ඛනිජ තෙල් සම්පත්වල ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ ක්‍රියාවලි විධිමත් කිරීම සඳහා නීතිමය රාමුවක් සකස් කිරීම, පවතින ඛනිජ තෙල් සම්පත් සාධාරණ, සුරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසර ආකාරයකින් කළමනාකරණය කිරීමද නව ඛනිජ තෙල් සම්පත් පනතක් හඳුන්වාදීමේ අරමුණු අතර ඇත.

(Aruna)