Friday, April 26, 2024
Follow Us
අනවශ්‍ය වියදම් කපන බැසිල්ගේ යෝජනාවට කැබිනට්ටුවේ එකඟතාව

අත්‍යවශ්‍ය වාහන හැර නව වාහන මිලදී ගැනීම් , සේවකයන් බඳවා ගැනීම් ඇතුළු ක්‍රියා මාර්ග කීපයක් දැඩි ලෙස අධෛර්යමත් කරමින් ලබන වසරේ (2022) අයවැය සකස් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ එකඟතාව පළකර ඇත.

දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති හා කාර්යයන් හැර නව ඉදිකිරීම්, කාර්යාල පුළුල් කිරීම්, ලී බඩු හා උපකරණ මිල දී ගැනීම්, අලුතින් බඳවාගැනීම්, අත්‍යවශ්‍ය උපයෝගි වාහන හැර නව වාහන මිල දී ගැනීම් වැනි කටයුතු ආර්ථිකය යථාවත් වන තුරු දැඩි ලෙස අධෛර්යමත් කිරීම සඳහා යෝජනා 2022 වාර්ෂික අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමුකර ඇත.

ඊට අමතරව 2022 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීමේදී අනුගමනය කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කීපයකට ඇමැති මණ්ඩලයේ එකඟතාව පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2022 වසරේ රාජ්‍ය ආදායම සියයට 13ක්, රාජ්‍ය වියදම සියයට 20.6ක්, අයවැය පරතරය සෘණ 7.5ක්, මධ්‍යම රජයේ ණය සියයට 95 ක් සහ ආර්ථික වර්ධන වේගය සියයට 6ක් ලෙස පවත්වා ගැනීමටත් එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා 2022 වර්ෂයේ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගැනීමටත්, උද්ධමනය 5%ක ස්ථාවර අගයක පවත්වාගෙන යාමටත්, සේවා වියුක්ති අනුපාතය 4%ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමටත් අපේක්ෂා කෙරේ.
කොවිඩ් 19ට එරෙහි ආරක්ෂිත ක්‍රමවේද ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන අතරම රට විවෘතව තබාගැනීමටත් ඩිජිටල් තාක්ෂණය රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා යොදා ගැනීමටත් එළැඹෙන වසරේ අයවැය සකස් කිරීමේදී අවධානය යොමුවේ. කොවිඩ් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහන සහ පහසුකම් සලසා දීම, ආනයන ආදේශන පුළුල් කිරීම හා ප්‍රවර්ධනය කිරීම, අපනයනාභිමුඛ ක්ෂේත්‍ර සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම, ආයෝජනයට හිතකර පරිසරයක් ඇති කිරීම මගින් සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීම, රාජ්‍ය ආදායම පුළුල් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර කෙරෙහි යොමු වීම වැනි කරුණු කෙරෙහි විශේෂ ප්‍රමුඛතාවක් ලබා දීම සහ 2022 වර්ෂයේ සෑම රජයේ ආයතනයක්ම තම කාර්යයන් මගින් ආදායම් ඉපයීමේ නව මාර්ග කෙරෙහි යොමු විය යුතු බවටද අවධානය යොමුකර ඇත.

(Aruna)