Tuesday, May 14, 2024
Follow Us
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා.

2007 වසරේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය.

කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය දුන් බැසිල් රාජපක්ෂ කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

“ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සහ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” ප්‍රධානී ලෙස ද බැසිල් මහතා කටයුතු කරනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, පුෂ්පා රාජපක්ෂ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.

(Neth)