Tuesday, May 14, 2024
Follow Us
වාහන ආනයනයේදි විදුලි වාහන සඳහා ප්‍රමුඛතාව

වාහන ආනයනය කිරීමේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර කීවේය.

පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ඉන්ධන භාවිත කරන වාහනවලින් විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම නිසා,විශාල පරිසර දූෂණයක් සිදුවන බවද ඇමැතිවරයා කීවේය.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනයේදී ඒ සඳහා විශේෂ බදු සහනයක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයාට යෝජනා කළ බවද ඇමැතිවරයා පවසයි.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන නැවත ආරෝපණය කිරීම සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සකස් කිරීමට කටයුතු යොදා ඇති බවත්, මෙම මධ්‍යස්ථානවලට සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බව ඔහු කීවේය.

විදෙස් රටවල භාවිත කරන පැරැණි වාහන මෙරටට ගෙන්වීම සඳහා අවසරය ලබා නොදෙන බවත්, කසළවලින් ගොඩ ගැසෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔහු කීවේය.

එම භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා රෙදි පිළි ආනයනය කිරීම තහනම් කර තිබෙන බවද ඇමැතිවරයා පැවසුවේය.

(Aruna)