Monday, May 13, 2024
Follow Us
කොරෝනා මර්දන එන්නත මග හැරුණු බස්නාහිර ජනතාවට එන්නත ලබාගන්න අද සිට අවස්ථාවක්

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සහ ඉන් පිට පළාත්වල සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද සිට ආරම්භ කෙරෙනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සතියේ ඕනෑම දිනක උදෑසන 08.30ත් සවස 04.30ත් අතර කාලයේදී පළමු එන්නත් මාත්‍රාව හෝ දෙවන එන්නත් මාත්‍රාව මෙහිදී ලබා ගත හැකියි.

එමෙන්ම බස්නාහිර හැර සෙසු පළාත්වල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකදී අද සිට ආරම්භ කෙරෙනවා. ගාල්ල කොටුව, මාතර නිල්වාලා කඳවුර, දියතලාව, අනුරාධපුර, පොලොන්නරුව, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව්හි පිහිටි හමුදා රෝහල්වලිදී මෙම එන්නත් කරණ කටයුතු අද සිට මෙලෙස ආරම්භ කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම විශේෂ එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ.

මේ අතර සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහල ආරක්ෂාවක් ලබාදෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන.

මේ අතර අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙන ආවා. දකුණු ආසියානු කලාපයේ රටක් විසින් මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය මෙය බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ.

ශ්‍රී ලංකාව මිළ දී ගත් ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක ප්‍රමාණයෙන් පළමු කොටස අද අලුයම මෙලෙස දිවයිනට රැගෙන ආවා. එම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩ බෑ සැනින්, කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ විශේෂ අධිශීතකරණ තුළ ගබඩා කිරීමට කටයුතු කෙරුණා.

අනතුරුව විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

(Neth)