Tuesday, May 14, 2024
Follow Us
පාලන මිලට කොහේවත් සීනි නෑ, නඩු දැම්මත් වැඩකුත් නෑ. පනත සංශෝධනය කරනවා - ඇමති ලසන්ත

වෙළඳපොලේ කොතැනකවත් දැනට රජය විසින් පනවා ඇති පාලන මිලට විකිණීම සඳහා සීනි නොමැති බවත් මේ සම්බන්ධයෙන් කොතෙක් අධිකරණමය ක්‍රියාමාර්ග ගත්ත ද ප්‍රතිඵලයක් අත්වී නොමැති බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

"අපේ රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සීනි අතිරික්ත තොගයක් අපේ රටේ තිබෙනවා. නමුත් ආනයනය නවතා තිබියදීත් ආනයනකරුවන් විසින් අසාධාරණ ලෙස ඉතාමත් වැඩි මිලට සීනි අලෙවි කිරීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙනවා. මේ තත්වය නිසා රජය මේ වනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ඒ අනුව අපි පාරිභෝගික අධිකාරිය විසින් විශේෂයෙන්ම පළ කරන ලද ගැසට් නිවේදනය අනුවත් 70%කට ආසන්න ප්‍රමාණයක් ඒ ගබඩා ලියාපදිංචි කරලා තිබෙන්නෙ. ඉතිරි ගබඩා සම්බන්ධව, ලියාපදිංචි නොකළ ගබඩා සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් පාරිභෝගික අධිකාරිය මේ වනවිටත් කටයුතු කරලා තිබෙනවා"

"දැනට තිබෙන පාලන මිලට මොනම ආකාරයකටවත් සීනි වෙළඳපොලේ නෑ. අධිකරණමය ක්‍රියාමාර්ග මේ සම්බන්ධව කොච්චර ගත්තත් තිබෙන නීතිවල අඩුපාඩුකම් නිසා තමයි මාසයක් ඇතුළත පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කිරීමට කටයුතු කරලා තිබෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)