Tuesday, May 14, 2024
Follow Us
දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 82 කට සහන සලසයි

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 82 දෙදෙනෙකුට සහන සලසා තිබෙනවා. ඒ අතරට උසස්වීම්, වැටුප් වර්ධක ලබාදීම සහ තනතුරු උසස් කිරීම් පෙරදාතම් හෙවත් බැක්ඩේට් කිරීම් ද ඇතුළත්.

ඒ අනුව විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමටයි කටයුතු කර ඇත්තේ. සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු පොලිස් අධිකාරි නිලයට උසස් කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 10 දෙනෙකු උසස් කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙසයි. පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් උසස් කර තිබෙනවා. පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු උසස් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරුන් ලෙසයි. පොලිස් කොස්තාපල්වරුන් 05 දෙනෙකු පොලිස් සැරයන්වරුන් ලෙස උසස් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වැටුප් වර්ධක 02 ක්ද, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වැටුප් වර්ධකයක් ද ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව තවත් පිරිසකට තනතුරු උසස් කිරීම් පෙර දාතම් හෙවත් බැක්ඩේට් කිරීම් සිදුකර තිබෙනවා. නැවත සේවයේ පිහිටුවීම සහ වැටුප් වර්ධක ලබාදීම තවත් පිරිසකට ලබාදුන් සහන අතරට අයත්.

(Neth)