Friday, March 29, 2024
Follow Us
පාසල් විවෘත කරන නිශ්චිත දිනයක් නෑ

රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

මේ හේතුවෙන් මාර්ගගත දුරස්ථක්‍රම මගින් අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ වනවිට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දූරස්ථ ක්‍රම මඟින් වුව ද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් “ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කටයුතු කරන බැව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා පාසල් විවෘත නොකිරීම හේතුවෙන් මේ වනවිට අධ්‍යාපන කටයුතු සිදුවන්නේ දූරස්ථ/මාර්ගගත ක්‍රමවේදයෙනි. එමෙන් ම ගුරුගෙදර, ඊ තක්සලාව මෙන් ම ගුවන්විදුලිය ආදී මාධ්‍ය ඔස්සේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීමට රජය කටයුතු ක‍රනු ලැබේ. ඊ තක්සලාව මඟින් ගුරුවරුන්ට ‘වර්චුවල් පන්තිකාමර’ සකස්කර අධ්‍යාපනය ලබා ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් මඟින් පහසුකම් සලසා දී තිබේ. ඊ තක්සලාවෙහි පාඩම් 65000ක ප්‍රමාණයක් අඩංගුකොට තිබෙන අතර ලක්ෂ 2 ½ක් පමණ දිනකට ඊට ප්‍රවේශය ලබයි. පසුගිය මාසයේ මිලියන 3.5ක් ඊට ප්‍රවේශය ලබා තිබේ.
ගුරුගෙදර වැඩසටන රූපවාහිනියේ ‘චැනල් අයි’ නාලිකාවේ සිංහල මාධ්‍යයෙන් ද දමිළ මාධ්‍යයෙන් නේත්‍රා නාලිකාවෙන් ද ක්‍රියාත්මක වේ. දිනකට පැය 16ක් බැගින් දවස් 05ක් ක්‍රියාත්මක මෙය 03වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාඩම් 5000ක් පමණ මේ වනවිට පටිගතකොට තිබේ. ඊ තක්සලාවට ප්‍රවේශ වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. ඉහත අන්තර්ජාල හා රූපවාහිනී වැඩසටහන් ‘අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා ජාතික අධ්‍යාපන ආයතනය’ මඟින් පූර්ව ප්‍රමිතිකරණයකට යටත් ව සිදු කෙරේ. එමෙන් ම පළාත්, කොට්ඨාස, පාසල් හා‍ ශ්‍රේණි මඟින් සමාජ මාධ්‍ය ජාලා හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් අදාල විෂය අධ්‍යක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. නමුත් මේ සියල්ල සඳහා ප්‍රවේශවීමේ ගැටලුව රටේ 12%ක් හෝ ඊට තරමක් වැඩි ප්‍රමාණයකට බලපා ඇත.

(Aruna)