Tuesday, January 20, 2026
Follow Us
කිසිම හේතුවකට කාබනික පොහොර ආනයනය කරන්නේ නැහැ - ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කියයි

කිසිම හේතුවකට කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ බලාපොරොත්තුවක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

නයිට්‍රජන් අවශ්‍යතාවක් මතුවුවහොත් එම දියරය පමණක් ආනයනය කිරීම ගැන සලකා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

''මේ වෙද්දී අපේ රටට අවශ්‍ය රසායනික පොහොර භාවිතය ගණනය කරලා තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 1.2ක් ලෙස. ඒ කියන්නේ වසර හතරකින් අපේ රටේ රසායනික පොහොර භාවිතය 300%කින් වැඩි වෙලා තිබෙනවා. මේක ඉතම අවදානම් තත්ත්වයක්. මෙච්චර රසායනික පොහොර දාලත් රටේ නිෂ්පාදනය කිසිදු වැඩිවීමක් සිදුවෙලා නැහැ. මොනම හේතුවකටවත් කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ බලාපොරොත්තුවක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නයිට්‍රජන් අවශ්‍යතාවක් සිදුවුනොත් ලික්විඩ් එක පමණක් ආනයනය කරන්න. යම්කිසි විදිහකින් ආනයන කිරීමක් අවශ්‍ය නම් ඒ ගැන සොයා බැලීමට අපි විද්වත් කමිටුවක් පත්කළා. මේ වැඩපිළිවෙල බොහෝ වේලාවට විවේචනවලට ලක්වෙනවා. අපේ ගොවියාගේ වකුගඩුව රැක ගැනීම අපේ යුතුකමක්. අනික පියයුරු පිළිකා, ලියුකේමියා,දියවැඩියාව. ඒ නිසා විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මේක දේශපාලනීකරණය කරන්න එපා. අපි ගොවියට ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොවියට කිසිම පොහොර හිඟයක් ඇති වෙන්න ඉඩදෙන්නේ නැහැ. මේක හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. සැලසුම්කරල ගත් තීරණයක්. අපේ සෞභාග්‍යයේ දැක්මේ පවා තිබුණ දෙයක්.'' යනුවෙන් අළුත්ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

(LNW)