කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා විසින් එම නැව් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම වෙත එවූ ඊමේල් පණිවිඩ කිහිපයක් එම සමාගම විසින් මකා දමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඊයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
නෞකාව ගිනිගැනීමට දින 10කට පෙර සිටම එහි බහාලුමකින් නයිට්‍රික් ඇසිඩ් කාන්දුවක් සිදුවන බවට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත්ව සිට ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
කපිතාන්වරයා ඒ පිළිබඳව දැනුම් දුන් ඊමේල් පණිවිඩ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මකා දමා ඇතැයි මෙතෙක් ලබාගත් ප්‍රකාශවලින් සනාථ වන බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ තිබියදීත් එම සමාගම අදාළ නෞකාව සුරක්ෂිතව සහ අනතුරුදායක නොවන තත්වයෙන් ඇති බැවින් කොළඹ වරායට ඇතුළු වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවත් පෙන්වා දුන්නේය.
එසේ මැයි 19 වනදා කොළඹ වරායට දැනුම් දුන් එම ආයතනයම මැයි 20 වනදා උදෑසන නැවෙහි රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇතැයි නැවත කොළඹ වරායට දැනුම් දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව සත්‍ය වසන් කරමින් එකිනෙකට පරස්පර ප්‍රකාශ ඉදිරිපත් කරමින් අදාළ නෞකාව දේශීය ජල තීරයට ඇතුළු කිරීමට එක්ස්ප්‍රස් නෞකාවේ දේශීය නියෝජිතයා වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම කටයුතු කර ඇති හෙයින් එහි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි ඇතුළු හත්දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් මෙහිදී මීට විරෝධය පළ කරමින් නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසුවේ මෙම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එය මහාධිකරණය විසින් සිදුකළ යුතු බවත්ය.
එම විරෝධතාවය පිළිගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නොතීසි නිකුත් කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි.
එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ සෙසු ඉල්ලීම් පිළිගනිමින් අදාළ නෞකාව දැනට ඇති ප්‍රදේශයට ආරක්ෂාව සපයන ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අදාළ අනතුර සිදුවූ වකවානුවේ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නැව් නියෝජිත සමාගම අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ පිළිබඳ පරීක්ෂා කිරීමට එම ඊමේල් දත්ත ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසත් අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට නියෝග කළාය.
එසේම අදාළ නෞකාවෙන් ලබා ගත් වී.ඩී.ආර්. යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව සඳහන්.
(LNW)