Tuesday, January 20, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර නොමැතිව ගමන් කරන පිරිස් නිරෝධායනයට

අත්‍යවශ්‍ය සේවා සදහා කොළඹ නගරයට ඇතුලුවන රථවාහන වර්ගීකරණය කර ඒවා සදහා වර්ණ 11 කින් යුත් ස්ටිකර් ඇලවීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

නුවර පාර, මීගමුව මාර්ගය, හයිලෙවල් මාර්ගය, පාර්ලිමේන්තු මාර්ගය සහ ගාලු පාර යන කොළඹ නගරයට ඇතුළු වන ස්ථානවලදී පොලීසිය විසින් මෙම වර්ණ සහිත ස්ටිකර් ඇලවීම සිදුකරන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

අත්‍යවශ්‍ය සේවා සදහා කොළඹට පැමිණෙන පුද්ගලයින්ට ප්‍රමාදයකින් තොරව රාජකාරී ස්ථාන වෙත ගමන් කිරීමේ පහසුව සැලසීම වෙනුවෙන් මෙම නව ස්ටිකර් ක්‍රමය හදුන්වාදී තිබෙනවා.

කෙසේවෙතත් අද දිනයේ කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල රථ වාහන තදබදයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ දිනයේදී නිරෝධායන රීති කඩකල පුද්ගලයින් 913 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

යම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔහු නිරෝධායන රීති උල්ලංඝණය කළ බවට අනාවරණ වන්නේ නම් එවැනි පුද්ගලයින් නිරෝධායනයට යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

වෛද්‍යවරයෙකු ලෙස හඟවමින් මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම නාවික හමුදාව භාවිත කරන ටීෂර්ටයක් පැළඳ ගමන් කළ පුද්ගලයෙකුද මත්ද්‍රව්‍ය සමග ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

(Neth)