Tuesday, January 20, 2026
Follow Us
කොළඹට එන අත්‍යවශ්‍ය සේවා සදහා අද සිට වර්ණ 11 කින් යුත් ස්ටිකර් - අවභාවිත කළහොත් රථවාහන පොලිස් භාරයට

අත්‍යවශ්‍ය සේවා සදහා කොළඹ නගරයට ඇතුලුවන රථවාහන වෙනුවෙන් වර්ණ සහිත ස්ටිකර් 11 ක් හදුන්වාදීම අද අලුයම සිට ආරම්භ වුණා. සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාවට අදාල වන තනි ස්ටිකරයක් මෙලෙස හදුන්වා දී තිබෙනවා. ඒ ඒ අත්‍යවශ්‍ය සේවා වර්ගීකරණය කර වර්ණ 11කින් යුත් ස්ටිකර් ඇලවීම මෙහිදී සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ. මාර්ග බාධක කිහිපයකදී එකම වාහනය නැවත වරක් පරීක්ෂා වීම වැළැක්වීම සදහා මෙම නව ක්‍රමය හදුන්වාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

අත්‍යවශ්‍ය සේවා සදහා පැමිණෙන රථ වාහන සදහා අද සිට අලවන මෙම ස්ටිකරයේ එහි ගමන් ගන්නා පුද්ගලයින් සංඛ්‍යාවද සටහන් කෙරෙනවා. අදාල ස්ටිකරය නිකුත් කර ඇති අත්‍යවශ්‍ය සේවාවලට අයත් රථවාහන මෙය අවභාවිත කළහොත් එම රථවාහන පොලිස් භාරයට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

හදුන්වාදෙන මෙම නව ස්ටිකර් ක්‍රමය හේතුවෙන් අද දිනයේ පමණක් කොළඹට ඇතුලුවන ස්ථානවල රථවාහන තදබදයක් ඇතිවිය හැකි අතර එය වැළැක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

(Neth)