Monday, January 19, 2026
Follow Us
කොවිඩ් මරණ තහවුරු කරන්න නව චක්‍රලේඛයක්

කොවිඩ් 19 ආසාදනය වූ මරණයක් බවට තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලුම වෛද්‍යවරු වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එමඟින් කොවිඩ් 19 ආසාදනය වී සිදුවූ මරණයක් බවට තහවුරු කිරීමට නිර්ණායක හඳුන්වා දී තිබේ.

එම චක්‍රලේඛයට අනුව පුද්ගලයෙක් කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇත්නම් ඒ බව සායනිකව තහවුරු කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවයි දක්වා ඇත්තේ.

නිධන්ගත රෝගවලින් පෙළෙන කෙනෙකුගේ මරණයකදී කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණද එම මරණයට ප්‍රධානම හේතුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොවිඩ් 19 මරණයක් ලෙස දැක්විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

එමෙන්ම කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද අනුගමනය කළ යුතු අතර මරණ සහතිකය සටහන් කිරීමේදී එය කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට සටහන් කිරීම අනිවාර්ය කර ඇත.

මේ අතර යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයේදී අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණද එම මරණයට ප්‍රධානතම හේතුව කොවිඩ් -19 ආසාදනයවීම බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීම පිළිබඳව නිශ්චිතව මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කිරීම සිදුකළ යුතු බවත් එම චක්‍රලේඛයේ දක්වා තිබේ.

(LNW)