රටවැසියාගේ ආරක්ෂාව සේම, සුභසිද්ධියත් සලකා, අසිරිමත් තෙමඟුල ශ්‍රද්ධා පෙරදැරිව සිහිනුවණින් යුතුව සැමරිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසන්නේ වෙසක් උළෙල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
එම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.
අසිරිමත් බෝසත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය බෞද්ධ අපගේ වටිනාම පුණ්‍ය මහෝත්සවයයි. සමස්ත බෞද්ධ ජනතාවම මේ උතුම් දිනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජෝපහාර පවත්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුවය.
සම්බුද්ධ දේශනාව අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් දෙලොව දියුණුව සඳහා කටයුතු කිරීම මෙන්ම දූ දරුවන් සමග එක්ව වෙසක් සමයේ පිළිවෙත් පිරීම හා ආමිස පූජා පැවැත්වීම අනාදිමත් කාලයක පටන් පැවත එන අපගේ බෞද්ධ සම්ප්‍රදායයි.
පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් අපට සාමූහික පිංකම්වල නියැළීමට ඇති අවස්ථාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ. එහෙත් උතුම් තෙමඟුල සිහිපත් කොට තම තමන්ගේ නිවෙස් තුළම රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ යෙදීමට එය බාධාවක් නොකර ගතයුතුය.
(Aruna)