Monday, January 19, 2026
Follow Us
දිවයිනටම පැනවූ සංචරණ සීමා 28 වනදා අළුයම තෙක්

දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා තිබෙනවා. සංචරණ සීමා පැනවීම ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 11 සිටයි. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව පළමු අදියර ඊයේ රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වනවා.

පවතින කොරෝනා තුන්වල රැල්ල හමුවේ දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඉකුත් සති අන්තයේ එනම් 14, 15 සහ 16 යන දිනවල දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පනවනු ලැබුවා.

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මේවනවිට ක්‍රියාත්මක සංචරණ සීමා වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

සංචරණ සීමා පැනවුවද, රටේ නිෂ්පාදන, කෘෂිකර්ම හා අපනයන කටයුතු වලට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වූ සේවාවන් පවත්වාගෙන යා හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)