Friday, March 29, 2024
Follow Us
තැපැල් සේවකයෝ අද රෑ සිට වැඩවරති

කොවිඩ් එන්නත ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සේවා කටයුතුවලින් ඉවත් වීමට තැපැල් සේවයේ සියලුම වෘත්තීය සංගම් ඒකමතිකව තීරණය කර තිබේ.

කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු කාර්යාල සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය හා උපකරණ ලබා දීම, දැඩි අවදානමකට ලක් වන තැපැල්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීම, බෝනොවන රෝගවලින් පෙළෙන සේවකයන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගැනීම මෙන්ම ආසාදනයට ලක්වන සේවකයන්ගේ ආශ්‍රිතයන් සහ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම එම ඉල්ලීම් අතර වෙයි.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් නොලැබෙන්නේ නම් අද (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වන බව සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවා ගෙන ඇති ‘තැපැල් වෘත්තීය සමිති බලය’ සංගමය විසින් තැපැල්පති රංජිත් ආරියරත්නට ලිඛිතව දැනුම් දී ඇත.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර කරන ලද ඉල්ලීම් පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද එම ලිපියේ සඳහන්ව තිබේ.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය, ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය,ජාතික එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය තැපැල්වේදීන්ගේ සංගමය සහ ලංකා තැපැල් සේවා සංගමය මෙම ලිපිය සඳහා අත්සන් කර ඇත.

(Aruna)