Friday, March 29, 2024
Follow Us
යුද විජයග්‍රහණයට අදට වසර 12ක්

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග්‍රහණයට අදට 12 වසරක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.

ඒ, යුද්ධයේ අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්. පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා.

මානුෂීය මෙහෙයුමේ මතකය ලක්වැසියන්ගේ සිත් තුලින් නොමැකී තිබෙන්නේ රණවිරුවන් ඇතුළු ආරක්ෂක අංශ දිවිකැප කර උදාකර දුන් ස්ථිර නිදහස නිසාවෙන්. මේ, එම රණවිරු විජයග්‍රහණයේ මතකය යළි අවදි කළ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ සමයේ 58 වැනි සේනාංකයේ සේනාධිපති ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

එදා මෙන්ම අදත් ත්‍රිවිද හමුදාව ඇතුළු සියලු ආරක්‍ෂක අංශ, ජනතාවගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය උදෙසා කැපවී කටයුතු කරමින් සිටිනවා. කොවිඩ් වසංගතය රටින් තුරන් කිරීම සඳහා සියලු රණවිරුවන් තවත් මානුෂීය මෙහෙයුමක නිරත වෙමින් සිටින බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

මේ අතර 12 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම වෙනුවෙන් බත්තරමුල්ල, ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හෙට පස්වරුවේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සැරමරුම් උත්සවයක් සංවිධාන කර තිබෙනවා. සෞඛ්‍ය රීතීන්වලට අනුගතවෙමින් එම සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි රණවිරු සේවා අධිකාරිය පැවසුවේ.

(Neth)