Friday, March 29, 2024
Follow Us
නිරෝධායන නීති අද සිට දැඩි වෙයි - රට පුරා මෙහෙයුම්

සංචරණ සීමා ලිහිල් කෙරුණද නිරෝධායන නීති කඩකරන්නන් සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා අද අළුයම 04ට ඉවත් කෙරුණා.

කෙසේවෙතත් ලබන 31වනදා තෙක් දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව අද දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 1, 3, 5, 7 සහ 9 හිමි පුද්ගලයින්ටයි.

ජාතික හැදුනුම්පත නොමැති පුද්ගලයින්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා පිටවීමේදී විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ සදහන් හැදුනුම්පත් අංකයේ අවසන් අංකයට අනුව ඊට අදාළ දිනයන්හිදී නිවසින් පිටවීමට අවසර හිමි වනවා.

ජාතික හැදුනුම්පත් අංක ක්‍රමවේදයෙන් බැහැරව නිවසින් පිටතට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ. එවැනි පුද්ගලයින් සොයා ප්‍රදේශ රැසකදී අද මෙහෙයුම් ආරම්භ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

මේ අතර පළාත් මායිම් අසල විශේෂ රථ වාහන පරීක්‍ෂාවක්ද ක්‍රියාත්මකයි. නව කැළණි පාලම අසලද අද පෙරවරුවේ සිට රථ වාහන පරීක්‍ෂා කිරීම් සිදු කෙරුණා.

පොදු ප්‍රවාහන සේවා සැපයීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

ඊයේ දිනයේදී නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 262 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

නිරෝධායනය රීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

පළාත් මායිම් හරහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව සංචරණය සිදුකරන පුද්ගලයින් සහ රථ වාහන අද සිට අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

(Neth)