Thursday, March 28, 2024
Follow Us
හැදුනුම්පත් අංක ක්‍රමයට පමණක් අද සිට නිවසින් බැහැරවීමට අවස්ථාව

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා අද අළුයම 04ට ඉවත් කෙරුණා. කෙසේවෙතත් ලබන 31වනදා තෙක් දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බවයි පොලිසිය සඳහන් කළේ.

හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව අද දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 1, 3, 5, 7 සහ 9 හිමි පුද්ගලයින්ටයි. ජාතික හැදුනුම්පත නොමැති පුද්ගලයින්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා පිටවීමේදී විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ සදහන් හැදුනුම්පත් අංකයේ අවසන් අංකයට අනුව ඊට අදාළ දිනයන්හිදී නිවසින් පිටවීමට අවසර හිමි වනවා.

අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය රාජකාරී හැදුනුම්පත භාවිත කර සේවා ස්ථානය වෙත පැමිණිය හැකියි. හැදුනුම්පත් අංක ක්‍රමවේදයට අනුව කටයුතු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

සංචරණ සීමා ලිහිල් කෙරුණද සුපිරි වෙළද සැල්, සාප්පු සංකීර්ණ, මූල්‍ය ආයතන සහ සිල්ලර වෙළද සැල් ඇතුලු ජනතාව පැමිණෙන ස්ථාන සියයට 25ක ධාරිතාවකින් පවත්වාගෙන යායුතු බවද මෙහිදී යළි අවධාරණය කෙරුණා.

සංචරණ සීමා ඉවත් කෙරුණද යම් ප්‍රදේශයක් හුදෙකලා කර ඇත්නම් එම ප්‍රදේශයේ ජනතාවට හුදෙකලා තත්ත්වය ඉවත් කරන තුරු ඉන් පිටවීමට හෝ ඇතුලු වීමට අවස්ථාව හිමි නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සංචරණ සීමා සම්බන්ධයෙන් නිල මාධ්‍ය ආයතන නිකුත් කරන පුවත් පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. එමෙන්ම සංචරණ සීමා පිළිබඳ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරි පුද්ගලයින් 23 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

(Neth)